Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th December 2022 16:33:08 Hours

නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර පරිපාලන කටයුතු පිළිබඳ සොයාබැලීම සඳහා නිරීක්‍ෂණ චාරිකාවක

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස ධූරයේ රාජකාරි අරඹන ලද මේජර් ජෙනරල් චන්න වීරසූරිය සිය පළමු නිල සංචාරය සිදුකරමින් වැලිකන්ද ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙත ඉකුත් සඳුදා (12) දින පැමිණි අතර, එහිදී එම මූලස්ථානයෙහි පරිපාලන කටයුතු පිළිබඳ සොයාබැලීම සඳහා නිරීක්‍ෂණ චාරිකාවකද නිරත විය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙත සපැමිණි මේජර් ජෙනරල් චන්න වීරසූරිය ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, 15 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයද (drive-past) පිරිනමන ලදී.

යුද්ධ හමුදාවේ පරිපාලන ගැටලුවලට අදාළ සියලු ගැටලු මඟහරවා ගැනීම සඳහා වාර්ෂිකව පරිපාලන පරීක්‍ෂණයක් පැවැත්වීමේ වැදගත්කම පිළිබඳ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් මෙහිදී කරුණු අවධාරණය කරනු ලැබීය. පසුව, අධ්‍යක්‍ෂ මණ්ඩල සහ ශාඛාවන්හි අධ්‍යක්‍ෂවරුන් සහ මාණ්ඩලික නිලධාරීන් ඔවුන්ගේ නිරීක්‍ෂණ ඉදිරිපත් කර එවැනි ගැටළු නිරාකරණය කිරීමට ගත හැකි විධිමත් ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර පැවැති පරිපාලන පරීක්‍ෂණ සාකච්ඡාව සඳහා ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර, ඒ යටතේ පාලනය වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂවරුන් සහ මාණ්ඩලික නිලධාරීන්, අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක, බලසේනාධිපතිවරුන් සහ මාණ්ඩලික නිලධාරීන් සහභාගී වූහ.

සාකච්ඡාව අවසානයේදී එම අවස්ථාව සංකේතවත් කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළේය. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිරින් නික්ම යෑමට මත්තෙන් එම මූලස්ථානයේ විශේෂ අමුත්තන් සඳහා වූ සමරු පොතේ සටහනක් ද තැබීය.