Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th December 2022 17:30:03 Hours

11 වන සේනාංකයේ නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා ‘මාධ්‍ය හා එහි බලපෑම’ පිළිබඳ දැනුවත් කිරිමේ දේශණයක්

පල්ලෙකැලේ පිහිටි 11 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකක යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා සමාජයට සහ යුද්ධ හමුදාවට මාධ්‍ය වෙතින් සිදුවන බලපෑම් සහ එහි වාසි අවාසි පිළිබඳව සම්මන්ත්‍රණක් එම සේනාංක මූලස්ථානයේදී පවත්වන ලදී.

11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කල්ප සංජීවගේ ආරාධනයකට අනුව දේශණය සිදුකිරීම සඳහා සපැමිණි යුද්ධ හමුදා මාධ්‍ය උපදේශක සිසිර විජේසිංහ මහතා විසින් “සමාජයට සහ යුද්ධ හමුදාව කෙරෙහි මාධ්‍ය මගින් සිදුකෙරෙන බලපෑම් සහ එහි වාසි අවාසි” යන තේමාව ඔස්සේ මෙම දේශණයේදී යුද්ධ හමුදා සාමාජිකයන් දැනුවත් කරන ලදී.

මෙම දේශණයේදී සීඝ්‍ර ඩිජිටල්කරණය, සන්නිවේදනය, මාධ්‍යවල විවිධ බලපෑම්, සමාජ මාධ්‍ය භාවිතය, සාවධ්‍ය තොරතුරු සහ නිරවද්‍ය තොරතුරු, මාධ්‍ය කරණයේ නවීන ප්‍රවණතා සහ ඒ තුළින් රටට සහ හමුදාවට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව දැනුවත් කරන ලදී. තවද, ජාත්‍යන්තර බලපෑම්, මාධ්‍යයේ ධනාත්මක සහ ඍණාත්මක පැතිකඩයන්, මාධ්‍ය සහ මාධ්‍යවේදීන්ගේ ක්‍රියාකාරීත්වය, ප්‍රජාව ඉලක්ක කරගත් ව්‍යාපෘති සහ බලපෑම, ඥාණාන්විත සංනිවේදන කුසලතා, ප්‍රවෘත්ති රැස්කිරීමේ ක්‍රියාවලිය, මාධ්‍යය ආචාර ධර්ම සහ සදාචාරාත්මක හැසිරීම යනාදිය කරුණු පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡාවට බදුන් කරමින් යුද්ධ හමුදා සාමාජිකයන් දැනුවත් කරන ලදී.

මෙම තේමාව ඔස්සේ නිලධාරීන් සඳහා පැවැති දේශණය සඳහා නිලධාරීන් 20 දෙනෙකුට අධික ප්‍රමාණයක් සෙසුනිලයින් 110 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් සහභාගී වූ අතර, දේශණය අවසානයේ එයට සහභාගී වූවන් සඳහා ප්‍රශ්නෝත්තර සාකච්ඡා කිරිමට ද අවස්ථාවක් හිමිවිය.