Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th December 2022 15:01:17 Hours

66 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් නලින් ජයවර්ධන 66 වන පාබල සේනාංකයේ 12 වන සේනාංකාධිපති ලෙස ඉකුත් බදාදා (07) දින පුනරීන් ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායානූකූව පැවැති උත්සවයකදී බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ සිය රාජකාරි කටයුතු භාර ගන්නා ලදී.

66 වන පාබල සේනාංකය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් ප්‍රධාන දොරටුව අභියසදී මාණ්ඩලික නිලධාරීන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයද එතුමන් වෙත පිරිනමන ලදී.

බ්‍රිගේඩියර් නලින් ජයවර්ධන මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි කටයුතු භාරගත් අතර, එම අවස්ථාව සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක්ද එතුමන් විසින් රෝපණය කරන ලදී. අනතුරුව එතුමන් එම අවස්ථාවට සහභාගී වූ භටපිරිස්ද අමතන ලද අතර, එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක්ද සහභාගී වූහ.

66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි කළ මේජර් ජෙනරල් ජනක ප්‍රියදර්ශණ යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව බ්‍රිගේඩියර් නලින් ජයවර්ධන එම තනතුරට පත්කර තිබිණි.