Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th December 2022 14:09:41 Hours

අම්පාර සටන් පුහුණු පාසලේ පැවැති ඉගැන්වීමේ ක්‍රමවේදය පිළිබඳ- අංක 61 පාඨමාලාව සාර්ථකව අවසන්

අම්පාර සටන් පුහුණු පාසලේ පැවැති ඉගැන්වීමේ ක්‍රමවේදය පිළිබඳ - අංක 61 පාඨමාලාව සාර්ථකව හැදෑරූ යුද්ධ හමුදා සාමාජිකයන් 191 දෙනෙකුට අදාළ සහතික පත්‍ර ප්‍රදානය කිරීම ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින සිදුකරන ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ලබාදුන් උපදෙස් මත ආධුනික පාඨමාලා සහ යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා පවත්වනු ලබන විවිධ මට්ටමේ පාඨමාලා හදාරනු ලබන සොල්දාදුවන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීමේ සහ ඔවුන්ගේ උපදේශක හැකියාවන් වර්ධනය කිරිමේ අරමුණින් වැඩි භටපිරිස් ප්‍රමාණයක සහභාගීත්වයෙන් මෙම පාඨමාලාව පවත්වනු ලැබිණි.

දින 18 ක් පුරා පැවැති ඉගැන්වීමේ ක්‍රමවේදය - පාඨමාලා අංක 61 නොවැම්බර් මස 21 දින ආරම්භ කරනු ලැබු අතර, දෙසැම්බර් මස 08 දින අවසන් කරන ලදී. අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් රුවන් මුණිපුර ගේ සමාප්ති දේශණය සමඟ පාඨමාලාව සඳහා සහභාගී වූ භටපිරිස් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරිම ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් සහ එම පුහුණු පාසලේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

පාඨමාලාව සඳහා සහභාගී වූ භටපිරිස් 191ක් දෙනා අතරින් ඉහළ සමස්ථයක් ලබාගෙන කුසලතා අනුපිළිවෙලින් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් ටී.එම් සුනිල් ශාන්ත සමත්වූ අතර, එහිදි ඔහු වෙත කුසලානයක් සහ විශේෂ කුසලතා සහතික පත්‍රයක් පිරිනමන ලදී.