Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th December 2022 15:05:41 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි වෙතින් විවිධ ආර්ථික අපහසුතාවන් මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙත නව නිවසක් ඉදිකර දෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි වෙතින් ක්‍රියාත්මක කරන ලද විවිධ ආර්ථික අපහසුතාවන් මධ්‍යයේ දිවිගෙවන පවුල් වෙත නව නිවාස ඉදිකර දීමේ සමාජ සත්කාරක වැඩසටහන යටතේ වව්නියාව, රාසේන්ද්‍රකුලම් ප්‍රදේශයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකර දීමට කටයුතු කල අතර, ඒ වෙනුවෙන් මූල්‍යමය අනුග්‍රාහකත්වය දැක්වීමට 12 දෙනෙකුගෙන් සමන්විත දෙස් විදෙස් දානපතියන් පිරිසක් දායක වූහ.

එම නිවාසලාභිනිය වූ ශාන්තා මහත්මිය සහ ඇයගේ පවුලේ සාමාජිකයින්ගේ ජීවන තත්ත්වය පිළිබඳව දැනුවත් වූ ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ විදේශගත විදේශිකයන්ගේ සහ දේශීය දානපතියන්ගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත ඔවුන්ට සුදුසු නිවසක් ඉදිකිරීමේ ශක්‍යතාවය පිළිබඳ සොයා බලන ලදී. ඒ අනුව දානපතියන් 12 දෙනෙකු යුද්ධ හමුදාව විසින් වන්නි ප්‍රදේශයේ දියත් කරන ලද නිවාස ව්‍යාපෘතියට මූල්‍යමය අනුග්‍රාහකත්වය දැක්වීමට ඉදිරිපත් වූහ. ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස්හි ඉල්ලීම මත වවුනියාව ප්‍රාදේශීය ලේකම්වරයා සහ එම ප්‍රදේශවල රාජ්‍ය නිලධාරින් මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා සිය සහයෝගය ලබා දුන්හ.

56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කාරියවසම් සහ 562 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුර ජයසේකර ගේ උපදෙස් මත 17 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ජී.ඩබ්ලිව්.ඒ.එස්.එල් ද අල්විස් ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් ඔවුන්ගේ තාක්ෂණික හා ඉංජිනේරු කුසලතා උපයෝගි කරගනිමින් සති කිහිපයක් ඇතුළත නව නිවසේ ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලදී.

නව නිවස විවෘත කිරිමේ උත්සව අවස්ථාව සහ නිවාසලාභියා වෙත එම නිවසේ යතුර සංකේතාත්මකව ප්‍රදානය කිරිමේ උත්සව අවස්ථාව සඳහා ඉකුත් සිකුරාදා (09) දින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරල් චම්පක රණසිංහ සහභාගී විය. එම අවස්ථාව වෙනුවෙන් වවුනියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ.සරත්චන්ද්‍ර මහතා, පරිත්‍යාගශීලීන්ගේ නියෝජිතයින් පිරිසක්, වවුනියාව ප්‍රාදේශීය ලේකම්, 56 වන සේනාංකයේ සේනාංකාධිපති එන්. කමලදාසන්, 561, 562, සහ 563 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ප්‍රතිලාභීන්ගේ ඥාතීන්, ගම්වාසීන් සහ ආරාධිතයන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.