Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th December 2022 22:02:26 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් මූලිකත්වයෙන් තවත් සමාජ සත්කාරක සේවාවක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 141 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ 3 වන (ස්වෙඡ්චා) ගැමුණු හේවා බලකායේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය මත ඌරාපොල යටවක ප්‍රාථමික විද්‍යාලයේ සහ පුහුවැල්ල වලකන්ද මධ්‍යම විද්‍යාලයේ ප්‍රතිසංස්කරණය කරන ලද ගොඩනැගිලි දෙකක් ඉකුත් බදාදා (07) සහ සිකුරාදා (09) යන දිනයන්හිදී පැවැති විශේෂ උත්සව අවස්ථාවකදී එම පාසල් බලධාරීන් වෙත පවරා දීමට යුුද්ධ හමුදා භටපිරිස් විසින් කටයුතු කරනු ලැබිණි.

14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රොහාන් ජයමාන්න ලබාදුන් උපදෙස් මත 141 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බන්දුල කාරියවසම්ගේ මඟපෙන්වීම යටතේ ‘මාස් ලෙගාටෝ’ (MAS LEGATO) පුද්ගලික සමාගම විසින් ලබාදුන් මූල්‍යමය අනුග්‍රාහකත්වය මත 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා භටපිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරන ලද ඌරාපොල යටවක ප්‍රාථමික විද්‍යාලයේ අභිනව පුස්තකාල ගොඩනැගිල්ල ඉකුත් බදාදා (07) දින සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් පවරනු ලැබිණි.

6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඒ.එච්.එම්.ටී ගුණරත්න මෙම සමාජ සත්කාරක වැඩසටහන අධීක්ෂණය කරන ලද අතර, පුස්තකාල ගොඩනැගිල්ල සිසු අයිතියට පවරනු ලබන අවස්ථාවේදී ‘මාස් ලෙගාටෝ’ (MAS LEGATO) පුද්ගලික සමාගම විසින් රුපියල් හැටදහසක (60,000.00) වටිනාකමකින් යුත් පාසල් පොත් සහ රුපියල් එක්ලක්‍ෂ විසිදහසක (1,20,000.00) වටිනාකමකින් යුත් ඡායා පිටපත් යන්ත්‍රයක්ද ලබාදෙන ලදී.

3 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය මත පුහුල්වැල්ල වලකන්ද මධ්‍ය මහා විද්‍යාලයේ මුදල්, ශ්‍රමය සහ ද්‍රව්‍ය හිඟය හේතුවෙන් අතරමග ඉදිකිරීම් කටයුතු නවතා තිබූ පාසල් ගොඩනැගිල්ලක්ද සම්පුර්ණයෙන්ම කපරාරු කර භාවිතයට සුදුසු ආකාරයට සකසා පසුගිය සිකුරාදා (09) දින පාසල් බලධාරීන් වෙත පවරා දෙනු ලැබීය.

61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උදය හේරත් ලබාදුන් උපදෙස් මත 613 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඉන්දික ජයවීරගේ මගපෙන්වීම යටතේ මේජර් පී.ඒ.ජී.ඒ.පී මඩිත්තපොලගේ අධීක්‍ෂණය මත 3 වන (ස්වෙඡ්චා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් මෙම සමාජ සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.