Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th December 2022 04:38:41 Hours

භටකාර්ය සම්පාදක මාණ්ඩලික පාඨමාලාව - අංක 8 (LSC) සාර්ථකව හදාරනු ලැබූ නිලධාරීන් 31 දෙනෙකු වෙත උපාධි පිරිනමයි

ත්‍රිකුණාමලය භටකාර්ය සම්පාදක පුහුණු පාසල වෙතින් වසරක කාලයක් මුළුල්ලේ පවත්වනු ලැබූ භටකාර්ය සම්පාදක මාණ්ඩලික පාඨමාලාව - අංක 8 (LSC) සාර්ථකව හදාරනු ලැබූ මෙරට යුද්ධ හමුදාවේ නිලධාරීන් විසිහයදෙනෙකු, නාවික හමුදාවේ නිලධාරීන් දෙදෙනෙකු, ගුවන් හමුදාවේ එක් නිලධාරීයෙකු, බංගලාදේශ හමුදාවේ එක් නිලධාරියෙකු සහ නේපාල හමුදාවේ එක් නිලධාරියෙකු ඇතුළුව මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන් 31 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වෙත උපාධි පිරිනැමීමේ ප්‍රදානෝත්සවය පසුගිය සිකුරාදා (09) දින කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබිණි.

උපාධි ප්‍රධානෝත්සවය සඳහා ත්‍රිකුණාමලය භටකාර්ය සම්පාදක පුහුණු පාසලෙහි සේනාවිධායක බ්‍රිගේඩියර් ඊ.එම්.එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ විසින් සිදුකරනු ලැබූ ආරාධනාවක් මත ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී විය.

භටකාර්ය සම්පාදක මාණ්ඩලික පාඨමාලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භට කාර්ය සම්පාදක සහ පරිපාලන ක්‍ෂේත්‍රවල ඉහළම වෘත්තීය දැනුම ලබාදීම සිදුකරනු ලබයි. එමගින් යුද්ධ හමුදාවේ නිලධාරීන්ගේ වෘත්තිය සහ සාමාන්‍ය ක්‍රියා පටිපාටිවලට සම්බන්ධ සැපයුම් සහ පරිපාලන ගැටළු නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය දැනුම ලබාදීම සිදුකරනු ලබන අතර, වසරක පූර්ණ කාලීන නේවාසික පාඨමාලාවක් ලෙස පවත්වනු ලබන මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කල පසු ‘Lsc’ පදවි නාමයට හිමිකම් කීමට සුදුසුකම් ලබයි. පාඨමාලාව සඳහා මෙරට යුද්ධ, ගුවන් හා නාවික හමුදාවන්හි සහ විදෙස් රටවල හමුදා නිලධාරීන් ජ්‍යෙෂ්ඨ භටකාර්ය සම්පාදක තනතුරු සඳහා පත්වීමට ප්‍රථම එම නිලධාරීන්ගේ භඨකාර්ය සම්පාදක දැනුම වර්ධනය කිරීම මෙන්ම කුසලතාවයන් සහ ආකල්ප වර්ධනය කිරීමත් මෙම පාඨමාලාව මගින් සිදු කෙරේ.

භටකාර්ය සම්පාදක මාණ්ඩලික පාඨමාලාව ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධව පවත්වනු ලබන අතර, එමගින් භටකාර්ය සම්පාදක කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනය ශාස්ත්‍රපති උපාධිය (MBA in LM) ප්‍රදානය කරනු ලබයි. තවද, එම සුදුසුකම් ලත් ශිෂ්‍ය නිලධාරීන් හට එම ආරක්‍ෂක විශ්ව විද්‍යාලයෙහි මාස තුනක කාලයක් පවත්වනු ලබන ඉංග්‍රීසි භාෂා පාඨමාලාවටද සහභාගී වීමට අවස්ථාව හිමි වේ.

ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ ත්‍රිකුණාමලය භටකාර්ය සම්පාදක පුහුණු පාසලෙහි සේනාවිධායක බ්‍රිගේඩියර් ඊ.එම්.එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පාඨමාලාව සාර්ථකව අවසන් කරන ලද උපාධිධාරී නිලධාරීන් 31 දෙනා වෙත සංකේතාත්මකව සහතිකපත්‍ර පිරිනැමීම සිදුකරන ලදී.

ත්‍රිකුණාමලය භටකාර්ය සම්පාදක පුහුණු පාසල වෙතින් පිරිනමන සුවිශේෂි සම්මාන ද්විත්වය පිරිනැමීමද මෙහිදී සිදුවූ අතර, ‘හොඳම භටකාර්ය සම්පාදක සැලසුම්කරු’ සම්මානය (Best Logistic Planner) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මේජර් ආර්.ඒ.ඒ සෙනවිරත්න වෙත සහ පාඨමාලාවෙහි හොඳම සමස්ත කාර්ය සාධනය (Best Overall Performance in the LSC - No 8) සඳහා සම්මානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මේජර් එන්.සී.සී.පී නවරත්න වෙත පිරිනමන ලදී.

උපාධි ප්‍රධානය කිරීමෙන් අනතුරුව, රැස්ව සිටි පිරිස අමතමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින්, ඕනෑම හමුදාවක ඉදිරි ප්‍රගතිය සඳහා භටකාර්ය සම්පාදක කටයුතු පිළිබඳ දැනුම ලබාගැනීමේ වෘත්තීය පාඨමාලා හැදෑරීමේ වැදගත්කම සහ එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කලයුතු ආකාරය පිළිබඳ විස්තර කල අතර, ලෝකයේ මතුව ඇති සෞඛ්‍ය ගැටළු මධ්‍යයේ වුවද මෙම පාඨමාලාව හැදෑරීම සඳහා සහභාගී වූ විදේශීය නිලධාරීන් වෙත සිය සුභාශිංෂනයන් ද එක්කලේය.

මෙහිදී, ත්‍රිකුණාමලය භටකාර්ය සම්පාදක පුහුණු පාසලෙහි නිල සඟරාව වශයෙන් ‘ගෝල්ඩන් ලොග් 2021 - 2022’ (Golden Log 2021- 2022) සඟරාව එළිදක්වන ලද අතර, එහි පිටපත් කීපයක් යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු ආරාධිතයින් වෙත පිරිනමනු ලැබීය. මෙම උත්සව අවස්ථාව සනිටුහන් කරමින් බ්‍රිගේඩියර් ඊ.එම්.එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

උපාදි ප්‍රදානෝත්සවය සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, යුධ සේවා ලේකම් මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන් බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල හමුදාව මේජර් ජෙනරල් ඒ.එම් ළමාහේවා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, භඨකාර්ය සම්පාදන ආඥා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.ආර්.ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ජේ.බී වනිගසේකර යූඑස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, කීර්තිමත් විද්වතුන් සහ ආරාධිතයන් පිරිසක් සහභාගී වූහ.