Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th December 2022 19:32:10 Hours

විශ්‍රාම දිවියට එලඹෙන මේජර් ජෙනරල් ජනක ප්‍රියදර්ශන වෙත සිය රෙජිමේන්තුවේ ගෞරවාචාරය

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් ඉටුකරමින් නුදුරේදී විශ්‍රාම දිවියට එලඹෙන මේජර් ජෙනරල් ජනක ප්‍රියදර්ශන වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය 5 සහ 6 දෙදින තුල යාන්ත්‍රික පාබල රෙජිමේන්තු බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මේජර් ජෙනරල් ජනක ප්‍රියදර්ශන, යාන්ත්‍රික පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කාවින්ද බාලසූරිය සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අනුර අබේසිංහ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ජනක ප්‍රියදර්ශන වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබූහ.

අනතුරුව, මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකළ මේජර් ජෙනරල් ජනක ප්‍රියදර්ශන වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකරනු ලැබූහ.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් අඟහරුවාදා (6) දින කඳවුරු පරිශ්‍රයේ ප්‍රධාන මාර්ගය දෙපස රැඳී සිටි නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ සුභපැතුම් ගෞරවාචාර මධ්‍යයේ මේජර් ජෙනරල් ජනක ප්‍රියදර්ශන සිය රෙජිමේන්තු පරිශ්‍රයෙන් නික්ම යාම සිදුවිය.