Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th December 2022 20:10:26 Hours

හෙක්ටයාර් 600 ක පමණ පුරන් කුඹුරු අස්වැද්දීමට යුද්ධ හමුදාව පෙරමුණ ගනී

222 වන බලසේනාව යටතේ ස්ථාපිත 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සේරුනුවර, කල්ලාර්, දෙහිවත්ත සහ නීලපොල යන ප්‍රදේශයන්හි වෙසෙන ගොවීන්ගේ සහ ගම්වාසීන්ගේ දීර්ඝකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් එම ප්‍රදේශයන්ට ජලය සපයනු ලබන ප්‍රධාන ඇළ මාර්ගයේ අවහිරතා ඉවත් කරමින් ඇළ මාර්ගය පිරිසිදු කරනු ලැබීය. එමඟින් ඉහත සඳහන් ප්‍රදේශයන්හී ගොවිබිම් සියයක් පමණ අස්වැද්දීම සඳහා ජලය සැපයීමට පහසුකම් සැලසේ.

මාවිල්ආරු ප්‍රදේශයෙන් ආරම්භ වන කිලෝමීටර් 20 ක දිගකින් යුත් මෙම ඇළ මාර්ගය ප්‍රදේශයේ කූඹුරු සහ වගාබිම් හරහා ගමන්කරමින් කෘෂිකාර්මික කටයුතු සඳහා මහඟු දායකත්වයක් සපයන නමුත් වසර ගණනාවක් පුරාවට නඩත්තු කටයුතු සිදුනොකිරීම හේතුවෙන් එම ඇළ මාර්ගයේ ජලය ගලාබැසීම අවහිර වී ඇත.

කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සපයනු ලබන මෙම ඇළ මාර්ගය ඇණහිටීම හේතුවෙන් සේරුනුවර සහ කල්ලාර් ප්‍රදේශවල ගොවීන් අත්විඳින දුෂ්කරතාවයන් පිළිබඳ අවධානය යොමුකළ 22 වන සේනාංක මූලස්ථානයේ සාමාජිකයන් විසින් එහි පිරිසිදු කිරීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ උපදෙස් හා 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සාලිය අමුණුගම ගේ අධීක්‍ෂණය මත 222 වන බලසේනාවේ භටපිරිස් විසින් මෙම ප්‍රජා මූලික වැඩසටහන සඳහා සිය දායකත්වය ලබාදුන්හ.

24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් එම ප්‍රදේශවල වෙසෙන ගොවීන් සහ ගම්වාසීන්ගේ ප්‍රයෝජනය සඳහා ජල මාර්ගය සම්පූර්ණයෙන්ම පිරිසිදු කර, ඇළ මාර්ගයේ බැම්ම දින කිහිපයක් ඇතුළත පිළිසකර කර ජල ප්‍රවාහය යථා තත්ත්වයට පත් කළහ. ඇළ මාර්ගය පිළිසකර කිරීමෙන් අනතුරුව එම ප්‍රදේශවල තවත් හෙක්ටයාර් 600 ක පමණ පුරන් වූ කුඹුරු නැවත වගාකිරීමේ කටයුතු ආරම්භ කළ හැකි බව ‍22 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත ගොවි ප්‍රජාව විසින් දැනුම්දෙන ලදී.

222 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජූඩ් කාරියකරවන සහ 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් එම්.කේ.සී.ජේ. රත්නප්‍රිය ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.