Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd November 2022 19:47:56 Hours

552 බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් යාපනය ප්‍රදේශයේ සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජාසත්කාරක වැඩසටහනක්

යාපනය ප්‍රදේශයේ සිවිල් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහල නංවා ඔවුන්ට ආර්ථිකමය සහනයක් ලබාදීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් සම්බන්ධිකරණයෙන් දියත්කරනු ලබන ප්‍රජා මූලික වැඩසටහන්හි තවත් එක් වැඩසටහනක් වශයෙන්, රුපියල් මිලියන 1.8 ක් පමණ වටිනාකමකින් යුත් වියලි ආහාර සලාක පාර්සල් ඇතුළු තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ තොගයක් පසුගිය ඉරිදා (20) දින අයියකච්චි රජයේ දමිළ මිශ්‍ර පාසල් (GMTS) පරිශ්‍රයේදී එම ප්‍රතිලාභීන් වෙත බෙදාදෙන ලදී.

එම ප්‍රජා මූලික වැඩසටහනේදී ප්‍රදේශයේ ගැබිණි කාන්තාවන්ට සහ අඩු ආදායම්ලාභී පවුල් සඳහා පෝෂ්‍යදායී වියළි ආහාර සලාක පාර්සල් 100ක්, පාසල් සිසුන් සඳහා ඉංග්‍රීසි සහ දමිළ ශබ්දකෝෂ 100ක්, කෘෂිකාර්මික කටයුතු වල නිරත ගොවි මහතුන්ට අත්‍යාවශ්‍ය ගොවි උපකරණ 90ක් සහ පාසල් සිසුන් 20 දෙනෙකු සඳහා ලිපි ද්‍රව්‍ය සහිත පාසල් බෑග් 20ක් බෙදාදීම සිදුකරන ලදී.

‘අරුණළු’ වැඩසටහන අදියර -3 යටතේ පරිත්‍යාගශීලී ප්‍රසාද් ලොකුබාලසූරිය, තිළිණ මෙන්ඩිස්, චතු කහවල, නියෝමාල් ජනප්‍රිය, දිනේෂ් ගයාන්, කුමුදු ගුණවර්ධන, සමන්ති විජේවර්ධන මහත්ම මහත්මීන් සහ ඩිලන්ති ගුණරත්න මෙනවිය ඇතුළු පිරිසක් මෙම සමාජ සත්කාරක වැඩසටහන වෙනුවෙන් මූල්‍ය අනුග්‍රාහකත්වය දක්වා තිබිණි.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය විසින් ලබාදුන් උපදෙස් මත 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්නගේ සහ 552 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජයනාත් ජයවීරගේ අධීක්‍ෂණය යටතේ එම බලසේනාවේ භටපිරිස් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

1 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් ඒ.සී.ආර් තිලකරත්න සහ 23 ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරී මේජර් ආර්.එම්.ආර්.බී රත්නායකද මෙම සමාජ සත්කාරක වැඩසටහන සාර්ථක කර ගැනීමට සිය දායකත්වය ලබාදෙන ලදී.

අයියකච්චි රජයේ දමිළ මිශ්‍ර පාසලේ සිසු සිසුවියන්, එම පාසලේ නර්තන ශිල්පීන් සහ තූර්ය වාදක කණ්ඩායම එක්ව සිදුකල සෞන්දර්යාත්මක කලා හැකියාවන් තුලින් මෙම වැඩ සටහන වඩාත් වර්ණවත් විය.