Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th November 2022 13:45:25 Hours

11 වන සේනාංකයේ සේනාංකාධිපති 4 වන ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේ සංචාරයක

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කල්ප සංජීව නොවැම්බර් මස 11 දින දඹුල්ල, කීරගොල්ල ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබූ 4 වන ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. එම ඒකකයේ පරිපාලන කටයුතු පිළිබඳ දැනුවත් වීමේ අරමුණින් සිදුකළ මෙම සංචාරය සඳහා 11 වන සේනාංකයේ සහ 111 වන බලසේනාවෙහි මාණ්ඩලික නිලධාරින් කිහිපදෙනෙකු ද එක්වූහ.

සංචාරයේ සමාරම්භය සනිටුහන් කරමින් සේනාංකාධිපතිතුමන් මොරගහකන්ද සහ බෝවතැන්න ප්‍රදේශයන්හී ස්ථාපිත 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අනුඛණ්ඩයන් වෙත ගොස් භටපිරිස් හමුවිය. පසුව, කීරගොල්ල ප්‍රදේශයේ පිහිටි 4 වන ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානය වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් වෙත එම ඒකකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ.

4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩබ්ලිව්.වී.බී.බී.ආර්. වීරපුර සහ 11 වන සේනාංකයේ සේනාංකාධිපති අතර පැවති එම සාකච්ඡාවේදී කඳවුරේ සහ භටපිරිස්වල පරිපාලන කටයුතු, සැපයුම් අවශ්‍යතා පිළිබඳව සාකච්ඡා කෙරිණි. සේනාංකාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ සංචාරයේ නිරතවීමෙන් අනතුරුව එම ඒකක මූලස්ථානයේ පැළයක් ද රෝපණය කරන ලදී.

එම කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම සේනාංකාධිපතිතුමන් 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සියලුම නිලධාරින් සහ සෙසුනිලයන් සමඟින් සමූහ ඡායාරූපයකටද එක්විය.