Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th November 2022 16:00:25 Hours

62 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ පදවි - ශ්‍රීපුර ප්‍රදේශයේ ස්ථාපිත 62 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ජනක රණසිංහ පසුගිය ඉරිදා (13) දින එම සේනාංක මුලස්ථානයේ දී රාජකාරි භාරගන්නා ලදී.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ජනක රණසිංහ බලසේනාධිපතිවරුන් සහ මාණ්ඩලික නිලධාරින් විසින් පිළිගැනීමෙන් අනතුරුව 14 වන (ස්වෙඡ්චා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ.

මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ මේජර් ජෙනරල් ජනක රණසිංහ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදි.

නව සේනාංකාධිපතිතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් අමතන ලදී. ඉන් පසු පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයෙන් පසු උත්සවයේ සමාප්තිය සනිටුහන් කෙරිණි.

මෙම අවස්ථාව සඳහා 621, 622 සහ 623 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරින් සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු එක්වූහ.

මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි කටයුතු හෙබවූ මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ධූරය සඳහා පත්කෙරිණි.