Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th November 2022 14:30:14 Hours

විශේෂ බලකායේ දිගු දුර විහිදුම් බලකා පාඨමාලා අංක - 22 හැදෑරු 33 දෙනෙකු වෙත නිල ලාංඡන පළදවයි

වවුනියාව, පිරප්පමඩු ප්‍රදේශයේ ස්ථාපිත 3 වන විශේෂ බලකා වනගත පුහුණු කඳවුරු මධ්‍යස්ථානයේ මාස නවයක කාල සීමාවක් පුරා පවත්වන ලද ‘දිගු දුර විහිදුම් බලකා පාඨමාලා අංක - 22’ (Long Range Patrol’ (LRP) Course No - 22) සාර්ථකව අවසන් කළ යුද්ධ හමුදා සාමාජිකයන් වෙත නිල ලාංඡන පැළදවීමේ චාම් උත්සවයක් පසුගිය සඳුදා (14) දින නාවුල ප්‍රදේශයේ ස්ථාපිත විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා එම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

කඳවුරු පරිශ්‍රයට සපැමිණි මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කණිෂ්ක ගනේගොඩ, 3 වන විශේෂ බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එස්.එම්.එන්.කේ.බී සෙනෙවිරත්න විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා අතුළු 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විපුල ඉහළගේ, 57 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දිමාල් පීරිස්, 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශ්ශංක ඊරියගම සහ 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මහින්ද රණසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් දිගු දුර විහිදුම් බලකා පාඨමාලා අංක - 22 සාර්ථකව හැදෑරූ විශේෂ බලකා සාමාජිකයන් වෙත සංකේතාත්මකව නිල ලාංඡන පළදවන ලදී. අනතුරුව මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා විසින් පාඨමාලාවේ ජයග්‍රාහකයින් වෙත කුසලාන ප්‍රදානය කිරීමෙන් පසුව එම උත්සව අවස්ථාව සහභාගී වූ පිරිස අමතනු ලැබූහ.

උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක්ද සහභාගී වූහ.