Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th November 2022 15:45:14 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් කිලිනොච්චි ප්‍රදේශයේ පවුලක් වෙත නව නිවසක් ලබාදෙයි

විශ්‍රාමික යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ එතුමන්ගේ හිතවතුන්ගේ අනුග්‍රාහකත්වය මත යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකාවක් සහ ඇයගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් කිලිනොච්චිය, සෙල්වනගර් ප්‍රදේශයේ නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.

නිවාසලාභී පවුලේ සාමාජිකයන්ගේ ආර්ථික දුෂ්කරතාවයන් පිළිබඳ යුද්ධ හමුදාවේ අවධානය යොමුවීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ ගේ උපදෙස් මත මෙම නව නිවස ඉදිකිරීමේ කටයුතු 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දිමාල් පීරිස් විසින් අධීක්‍ෂණය කරනු ලැබූ අතර, 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එස්.එස්.ඒ. නාරායනගේ මූලිකත්වයෙන් යුත් එම ඒකකයේ භටපිරිස්හී ශ්‍රම දායක්තවය මත නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබීය.

නිවාසලාභී සෙල්වනගර්හි එස්. සරස්වතී මහත්මිය වෙත නව නිවස ඉදිකරදීම සඳහා රුපියල් මිලියන 1.7 ක මුදලක් වැය වූ අතර, 642 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද ගම්ලත්ගේ සම්බන්ධීකරණයෙන් ඒ සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය එක්සත් ජනපදයෙහි පදිංචි මේජර් ජෙනරල් රවී රත්නසිංහම් (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් සහ එතුමන්ගේ මිතුරන් විසින් ලබාදෙන ලදී.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ විසින් හින්දු ආගමික වතාවත් සහ සම්ප්‍රදායානුකූල චාරිත්‍ර මධ්‍යයේ පසුගිය බ්‍රහස්පතින්දා (10) දින සංකේතාත්මකව සමරු ඵලකය නිරාවරණය කර නව නිවස ප්‍රතිලාභී කාන්තාව වෙත භාරදෙනු ලැබීය.

උත්සව අවස්ථාව සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දිමාල් පීරිස්, 571,572 සහ 573 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.