Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th November 2022 15:30:14 Hours

කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ භටපිරිස් කැරට් වගාව අරඹයි

රජය විසින් ක්‍රියාවට නංවනු ලබන ආහාර සුරක්‍ෂිතතා වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ උපදෙස් මත කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය යටතේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ භටපිරිස් විසින් මීට දින කිහිපයකට පෙර සිය භෝග වගාවන් තවදුරටත් පුළුල් කිරීමේ ව්‍යපෘතියේ පළමු අදියර යටතේ ඩයගම ප්‍රදේශයේ අක්කර 3.5 ක භූමි භාගයක කැරට් වගාව ආරම්භ කරන ලදී.

මෙරට ආහාර සුරක්‍ෂිතතා වැඩසටහන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අනාගතයේදී අක්කර 25 ක භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි කැරට් වගා කිරීම සඳහා භූමිය සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. ජාතික අවශ්‍යතාවයට සහය දැක්වීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් හරිත කෘෂිකර්ම මෙහෙයුම් කමිටුව පිහිටුවීමෙන් පසු මේ වන විට යුධ හමුදා ගොවිපලවල් 19 ක් ක්‍රියාත්මකව ඇත.

2021 ජනවාරි මස 4 දින ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය වෙතින් මේ වනවිට යුද්ධ හමුදාව සතු ගොවිපළවල් සහ ඉඩම් තුළ සියලුම භෝග වර්ග වගා කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. පාංශු තත්ත්වය විද්‍යාත්මකව තක්සේරු කර නව තාක්‍ෂණික ක්‍රමවේදයන් යොදාගනිමින් එම බලකායේ භටපිරිස් මේ වනවිට ඩයගම ප්‍රදේශයේ කැරට් බීජ සිටුවීමට කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කර්නල් සේනාවිධායක සහ යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර සහ කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අරෝෂ රාජපක්‍ෂ විසින් මෙම ව්‍යෘපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් මාර්ගෝපදේශකත්වය සපයනු ලබයි.