Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th November 2022 05:30:48 Hours

52 වන සේනාංකයේ මූලිකත්වයෙන් සිවිල් ක්‍රීඩකයින් සඳහා වොලිබෝල් තරඟාවලියක්

ආරක්‍ෂක අංශ සහ යොවුන් ක්‍රීඩකයින් අතර පවතින සහයෝගීතාවයේ වර්ධනය කරමින් ‘කච්චායි කිංග්ස්’ සහ ‘මීසාලෙයි අයංකරන්’ වොලිබෝල් කණ්ඩායම් අතර සුහද වොලිබෝල් තරගයක් ඉකුත් සෙනසුරාදා (5) දින යාපනය මිරුසවිල් පිහිටි 52 වන සේනාංක වොලිබෝල් පිටියේදී පැවැත්විණි.

‘කච්චායි කිංග්ස්’ වොලිබෝල් කණ්ඩායම සහ ‘මීසාලෙයි අයංකරන්’ වොලිබෝල් කණ්ඩායම අතර පැවැති තියුණු තරඟයකින් පසු ‘මීසාලෙයි අයංකරන්’ වොලිබෝල් කණ්ඩායම ශූරතාවය දිනා ගැනීමට සමත් විය. තරගය අවසානයේ කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් වෙත කුසලාන සහ මුදල් ත්‍යාග පිරිනැමිණි.

මෙම වොලිබෝල් තරගාවලිය 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු ගේ මගපෙන්වීම යටතේ 52 වන සේනාංක මූලස්ථානයේ නිලධාරීන් සහ සෙසු නිලයින් එක්ව වොලිබෝල් ක්‍රීඩාව, සිවිල් සමාජය සහ ත්‍රිවිධ හමුදාව අතර සුහදතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම තරගාවලිය සංවිධානය කරන ලදී. තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු සහභාගි විය.

වොලිබෝල් තරගය 52 වන සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් ඊ.ඩී.එම් ජයකාන්ත විසින් සම්බන්ධීකරණය කරන ලදී.

තරඟය නැරඹීම සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් එම් ප්‍රදීපන් මහතා, සහකාර පොලිස් අධිකාරී - චාවකච්චේරි ජරුල් මොහොමඩ් මහතා, 52 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන්, කොඩිකාමම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, අදාළ ප්‍රදේශවල ග්‍රාම නිලධාරීන්, ප්‍රදේශයේ තරුණයින් සහ සෙසු නිලයින් පිරිසක් එක්ව සිටියහ.