Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd November 2022 19:02:54 Hours

විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් ‘Artificer’ පාඨමාලාව හඳුන්වාදෙයි

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ක්‍රියාත්මක වන විවිධ ක්‍ෂේත්‍රයන්හී ප්‍රවීණයන් වෙත ලබාදෙන ‘Artificer’ සුදුසුකම් සහතිකය ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භටපිරිස් වෙත හඳුන්වාදෙනු ලැබූ අතර මෙම සුදුසුකම් සහතිකය ශ්‍රී ලංකාව තුළ පවත්වනු ලබන විවිධ ක්‍ෂේත්‍රයන්හී පාඨමාලාවන් සඳහා පිළිගැනීමක් ලබාදේ. ඒ අනුව විවිධ වෘත්තීය ක්‍ෂේත්‍රයන්හී නිපුනතා ඇති යුද්ධ හමුදා සාමාජිකයන් හටද වෘත්තීය සුදුසු කම් සපුරා ගැනීමට මෙමගින් අවස්ථාව හිමිවේ. තවද, මීට පෙර මෙම පාඨමාලාව හැදෑරීම සඳහා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට විදේශ ගත වීමට සිදු වූවද, පාඨමාලාව මෙරට පැවැත්වීම තුළින් ශ්‍රී ලංකාව තුළ විදේශ විනිමය ඉතිරි කරගැනීමේ හැකියාව ද උදාවිය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ උපදෙස් මත විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රන්ජන් ජයසේකර, ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ ඒකාබද්ධව ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට පවත්වනු ලබන මෙම පාඨමාලාව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා පුහුණු පාසලේ දී ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 20 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පසුගිය අඟහරුවාදා (01) දින ආරම්භ කරනු ලැබූ මෙම පාඨමාලාව මාස හයක කාලයක් පැවැත්වෙන අතර 2023 මැයි මස 01 දින අවසන් වීමට නියමිතව ඇත.

මෙම පාඨමාලාව හදාරනු ලබන ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් පසු දකුණු කොරියාව වැනි රටවල රැකියා සඳහා යොමුවීමේදී මෙම පුහුණුව ප්‍රයෝජනවත් වනු ඇත.

මෙම පාඨමාලාවේ සමාරම්භක උත්සවය 2022 නොවැම්බර් මස 01 දින ඔරුගොඩවත්ත, ශ්‍රී ලංකා - කොරියානු ජාතික වෘත්තීය පුහුණු ආයතනයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක සහ පුහුණු අධ්‍යක්‍ෂතුමන්ගේ මඟ පෙන්වීම සහ මාර්ගෝපදේශය මත මෙම පාඨමාලාව සාර්ථකව ආරම්භ කරන ලදී.