Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd November 2022 21:30:45 Hours

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සංචාරයක

යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් අතිගරු සැන්ඩිල් එඩ්වින් ස්චාක් (Sandile Edwin Schalk) මහතා ඔක්තෝබර් මස 31 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මූලස්ථානයේ සුහද සංචාරයක නිරත විය.  

ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් ඇතුළු දූත පිරිස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් අතර පැවති සුහද සාකච්ඡාවේදී සිවිල් - හමුදා සහයෝගීතාවය, සංහිඳියාව සහ ජාතිය ගොඩනැගීමේ කාර්යයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ අතර, යුද්ධ හමුදා භටපිරිස් ප්‍රදේශයේ සිදුකරනු ලබන වත්මන් සිවිල් සුබසාධන ක්‍රියාකාරකම් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. එමෙන්ම, යුද්ධ හමුදාව විසින් ආරම්භ කර ඇති ව්‍යාපෘති සහ යාපනය ප්‍රදේශයේ සාමය සහ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය විසින් පැමිණි දූත පිරිස දැනුවත් කරන ලදී.  

සංචාරයේ නිරත ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් ඇතුළු දූත පිරිස එම මූලස්ථාන පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් අතිගරු සැන්ඩිල් එඩ්වින් ස්චාක් මහතා විසින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තබමින් යාපනය ප්‍රදේශයේ සිවිල් වැසියන් අතර සාමය හා සංහිදියාව ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ආරක්‍ෂක අංශ සාමාජිකයන් සිදුකරනු ලබන කැපවීම ඇගයීමට ලක්කළේය.

ඉන් අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.  

මෙම සුහද හමුව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ද එක්වූහ.