Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th October 2022 20:58:29 Hours

‘දීපාවලි’ දිනය වෙනුවෙන් යුද්ධ හමුදා භටපිරිස් සහභාගීත්වයෙන් යාපනය අර්ධද්වීපයේ කෝවිල් 69 ක් අලංකාරවත් කරයි

හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් යුතුව සමරන දීපවාලි දින උත්සවය වෙනුවෙන් එම උත්සවයට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ භටපිරිස්හි ශ්‍රම දායකත්වයෙන් යාපනය අර්ධද්වීපයේ ඇති කෝවිල් 69 ක් පිරිසිදු කර විවිධ අලංකාරවත්වූ විදුලි බුබුළු වලින් ආලෝකමත් කරමින් හිංදු බැතිමතුන්ට දීපවාලි උත්සවය අලංකාරවත් ලෙස සැමරීම සඳහා එම කෝවිල්වල පූජකවරුන් වෙත අවශ්‍ය සහයෝගය ලබාදෙනු ලැබූහ. මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා අවශ්‍ය උපදෙස් 51 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් ලබා දෙන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත සිදුකරන ලද මෙම සමාජ සත්කාරක වැඩසටහනේදී යුද්ධ හමුදා භටපිරිස් විසින් එම කෝවිල් පරිශ්‍රයන් අලංකාරවත් ලෙස පිරිසිදු කරමින් පිවිසෙන මංතීරු සඳහා වැලි අතුරා පිළිවෙළට සකස් කරමින් බැතිමතුන්ට කෝවිල් පරිශ්‍ර වෙත පැමිණිමට අවශ්‍ය පහසුකම් සලසනු ලැබීය.

අනතුරුව, පසුගිය 23 සහ 24 යන දෙදින තුළ ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් සමඟින් යුද්ධ හමුදා භටපිරිස් එක්ව දහස් සංඛ්‍යාත බැතිමතුන්ට අවශ්‍ය ආරක්‍ෂාව සපයමින් එම බැතිමතුන්ට පීඩාවකින් තොරව තම ආගමික කටයුතු සිදුකිරීමට අවශ්‍ය සහායද ලබාදුන් අතර, දීපාවලි දින කෝවිල් පරිශ්‍රයන් තුල පැවැත්වූ පූජා උත්සවයන් සඳහා සුදු වතින් සැරසුනු යුද්ධ හමුදා සාමාජිකයින් සහ පොලිස් නිලධාරීන්ද එක්විය.

යාපනය අර්ධද්වීපයේ ජීවත්වන සිවිල් ජනතාව සහ හමුදා සාමාජියින් අතර ඇති සම්බන්ධතාවය ශක්තිමත් කිරීමේ අරමුණින් 511, 512, 513 සහ 515 වන බලසේනාහි රාජකාරියෙහි නියුතු භටපිරිස් විසින් මෙම සමාජ සත්කාරක වැඩ සටහන සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය සැපයීය. එහිදී එම කෝවිල්හි ප්‍රධාන පූජකවරුන් සහ භාරකර මණ්ඩල සාමාජිකයින් විසින් යුද්ධ හමුදාව විසින් මෙම ආගමික කටයුතු සිදුකිරීමට ලබාදුන් සහයෝගය අගය කළ අතර, චාරිත්‍රානූ කූලව ආගමික වතාවත් සිදුකරන අතරතුර යුද්ධ හමුදාවේ සියළුම සාමාජිකයන් වෙත ආශිර්වාද එක් කළහ.