Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th October 2022 12:54:05 Hours

එක්සත් ජනපද තානාපතිනිය සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී අතිගරු ජුලී ජේ චංග් (Julie J. Chung) මැතිණිය බ්‍රහස්පතින්දා (27) දින බත්තරමුල්ල, පැලවත්ත, ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවී සුහද සාකච්ඡාවක නිරත වූහ.

යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි අතිගරු ජුලී ජේ චංග් මැතිණිය ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරල් එච්.එම්.එල්.ඩී. හේරත් ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ සුහද සාකච්ඡාවක නිරත වෙමින් දෙරටෙහි යුද්ධ හමුදාවන් අතර ද්විපාර්ශ්වික පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, බිම්බෝම්බ ඉවත් කිරීම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සයිබර් ආරක්‍ෂක කටයුතු සහ සන්නිවේදන හැකියාවන් ආදී කරුණු පිළිබඳ සාකච්ඡාවට ගැනිණි.

මෙම සුහද හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මෙම සංචාරය සනිටුහන් කරමින් අතිගරු ජුලී ජේ චංග් මැතිණිය වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළේය.

මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, ලුතිනන් කර්නල් ඇන්තනි සී. නෙල්සන් සහ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරියෙකු ද එක්ව සිටියහ. ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිනී අතිගරු ජුලී ජේ චංග් මැතිණිය මෙම සුහඳ හමුවෙන් අනතුරුව නික්මයෑමට මත්තෙන් විශේෂ අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබීය.