Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th October 2022 18:45:11 Hours

6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හී මූලිකත්වයෙන් විශ්වමඩු ප්‍රදේශවාසීන්ට වියළි සලාක පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් තවත් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් ලෙස ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන සිවිල් වැසියන් වෙනුවෙන් වියළි සලාක පාර්සල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (20) දින කිලිනොච්චිය විශ්වමඩු මහා විද්‍යාලයේදි පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ සහභාගී වූවේය.

ඒ අනුව, ‘නිත්මිර’ ඇගළුම් ආයතනයේ සභාපති නිනේද්‍ර බණ්ඩාර මහතාගේ අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 572 වන බලසේනාවට අයත් 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එම ප්‍රදේශයේ සිවිල් වැසියන්ට රුපියල් 6000/= වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් 20 ක් සහ අවශ්‍යතා සහිත පවුල්වල පාසල් සිසු සිසුවියන් වෙත රුපියල් 2750/= වටිනාකමකින් යුත් පාසල් උපකරණ කට්ටල 115 ක් ද බෙදාදෙන ලදී.

ග්‍රාම නිලධාරීන්, පාසල් බලධාරීන් සහ 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ඒකාබද්ධව ප්‍රතිලාභීන් තෝරාගැනීමෙන් අනතුරුව විශ්වමඩු මහා විද්‍යාලයේ විදුහල්පති සහ ගුරු භවතුන්ගේ සහයෝගය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

57 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 572 වන බලසේනාවේ බලසේනාධිපති ගේ උපදෙස් සහ 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් යූ.බී.කේ. සුබසිංහ ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති, 571, 572 සහ 573 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්වූහ.