Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th October 2022 11:21:08 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ 79 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

‘ස්ථිරයි ක්‍ෂණිකයි’ (Swift and Sure) යන ආදර්ශ පාඨය පෙරදැරිකරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ 79 වන සංවත්සරය අභිමානවත් අයුරින් පසුගිය බදාදා (19) දින පනාගොඩ සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සමරනු ලැබූහ. යුද්ධ හමුදාවේ සන්නිවේදන කටයුතු, අන්තර් ජාල මෙහෙයුම් කටයුතු හා එම ක්‍ෂේත්‍රයේ විශේෂඥයින් ලෙස කටයුතු කිරීම, පරිගණක පද්ධති මෙහෙයවීම සහ ආරක්‍ෂා කිරීමේ කටයුතු මෙම රෙජිමේන්තුවේ ප්‍රධානතම කාර්ය භාර්යය වේ.

එදින සැමරුම් උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ බලකාධිපති සහ ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරල් ලලිත් හේරත් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා විසින් උණුසුම් අයුරින් පිලිගනු ලැබූ අතර, අනතුරුව එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් බලකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රධායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබූහ.

අනතුරුව සරඹ භූමියේදී මේජර් ජෙනරල් ලලිත් හේරත් වෙත 10 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එච්.එම්.බී.එම්.බී හේරත්ගේ අණදීම යටතේ සැදුම්ලත් පෙළපාලිය හමුදා සම්ප්‍රධායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබූහ.

සංවත්සර සැමරුම් උත්සවය අතරතුර පසුගිය වර්ශයේදී සංඥා බලකායේ සාමාජිකයන් ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ දැක්වූ දක්‍ෂතාවයන් සහ ලබාගත් ජයග්‍රහණයන් මෙන්ම එතුලින් රෙජිමේන්තුවේ කීර්තිනාමය ඉහල නැංවීමට දැක්වූ දායකත්වයද ඇගයීමට ලක්කරමින් ඔවුන් වෙත කුසලාන ප්‍රදානය කරන ලදී. ඉන් අනතුරුව පැවති සියළු නිල භෝජන සංග්‍රහයෙන් අනතුරුව සංඥා බලකායේ ඒකක 11 අතරින් හොඳම ඒකකය තේරීමේ තරඟයෙන් ජයග්‍රහණය කරනු ලැබූ 10 වන ශ්‍රී ලංකා සංඥා බලකායට හිමි කුසලානය පිරිනමනු ලැබූහ.

මෙම සංවත්සර සැමරුම් උත්සවය සඳහා සංඥා බලකායේ බලකාධිපති ඇතුළු යුද්ධ හමුදාවේ සියළුම අංශ/ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ. අනතුරුව, නවතමයෙන් ඉදිකර විවෘත කරන ලද සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරී නිවස්නයේදී නිලධාරීන් 200 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් යුතුව හමුදා සම්ප්‍රධායානුකූලව රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආධාරක බලඇණියක් වශයෙන් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා සංඥා බලකාය යුධ සන්නිවේදන, තොරතුරු තාක්‍ෂණය ආදී සේවා සැපයීමේ කටයතු ප්‍රධාන වශයෙන් සිදුකරනු ලබන අතර, නිත්‍ය ඒකක දහයකින් සහ ස්වේච්ඡා (අතිරේක) ඒකකයකින්දන් සමන්විත වේ. එම ඒකකයන් විසින් යුද්ධ හමුදාවේ සියලුම වර්ගයේ දුරකථන සන්නිවේදන උපකරණ සහ තොරතුරු තාක්‍ෂණික පද්ධති ස්ථාපනය කිරීම, නඩත්තු කිරීම සහ ක්‍රියාත්මක කිරීම ආදී කටයුතු මූලිකව සිදුකරනු ලබයි.