Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd October 2022 17:34:46 Hours

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සහ මුලතිව් හි සංචාරයක

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙත පසුගිය සිකුරාදා (14) දින සංචාරයක නිරතවූ අතර, එහිදී එතුමන් හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර මධ්‍යයේ පිළිගනු ලැබීය.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර, අනතුරුව භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය (drive pass ) පිරිනමන ලදී.

අනතුරුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී විසින් එම මූලස්ථානයේ රාජකාරි කරනු ලබන සියළුම නිලධාරීන් සහ සෙසු නිලයින් අමතමින් යුද්ධ හමුදාව විසින් මෑතකදී ක්‍රියාත්මක කරන ලද ජාතිය නගාසිටුවීමේ විවිධ ව්‍යපෘතීන් සඳහා අනුග්‍රාහකත්වය දැක්වූ භටපිරිස් වෙත සිය කෘතඥතාව පළ කරමින් ඔවුන්ගේ දායකත්වයද අගය කරන ලද අතර, යුද්ධ හමුදාව වෙත පවරන ලද සෑම කාර්යයක්ම මනා වගකීමකින් යුතුව ඉටු කිරීම, සිවිල් ජනතාවගේ සිත් දිනාගනිමින් කොරෝනා වසංගතය පාලනය කිරීමට භටපිරිස් විසින් ගන්නා ලද නොපසුබස්නා උත්සාහයද එතුමන් වැඩි දුරටත් අගය කළේය.

එසේම, තමන්වෙත ලබාදුන් එම සහයෝගය ඒ ආකාරයෙන්ම වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙතද ලබාදෙන ලෙස ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදී භටපිරිස්වලින් වෙතින් ඉල්ලා සිටියේය.

සියළු භටපිරිස් ඇමතීමෙන් පසුව, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය විසින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී වෙත සමරු තිළිණයක්ද ප්‍රදානය කරන ලද අතර, එහිදී මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර විසින් භටපිරිස් ඇමතීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙත පැමිණිම පිළීබඳව සිය කෘතවේදීත්වය පිරිනමන ලදී. අනතුරුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සමග සමූහ ඡායාරූපයකටද පෙනී සිටින ලදී.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සංචාරයෙන් පසුව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව්හිද සංචාරයක නිරත විය.

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථාන කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර, අනතුරුව භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය (drive pass ) පිරිනමන ලදී.

එහිදී, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් එම මූලස්ථානයේ රාජකාරි කරනු ලබන සියළුම නිලයින් අමතමින් යුද්ධ හමුදාව විසින් මෑත කාලයේදී ක්‍රියාත්මක කරන ලද ජාතිය නගාසිටුවීමේ විවිධ ව්‍යපෘතීන් සඳහා අනුග්‍රාහකත්වය දැක්වූ භටපිරිස් වෙත සිය කෘතඥතාව පළ කරමින් ඔවුන්ගේ දායකත්වයද අගය කරන ලද අතර, යුද්ධ හමුදාව වෙත පවරන ලද සෑම කාර්යයක්ම මනා වගකීමකින් යුතුව ඉටු කිරීම, සිවිල් ජනතාවගේ සිත් දිනා ගනිමින් කොරෝනා වසංගතය පාලනය කිරීමට භටපිරිස් විසින් ගන්නා ලද නොපසුබස්නා උත්සාහයද එතුමන් වැඩි දුරටත් අගය කළේය.

සියළු භටපිරිස් ඇමතීමෙන් පසුව, ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් විසින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී වෙත සමරු තිළිණයක්ද ප්‍රදානය කරන ලදී.