Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th October 2022 14:41:59 Hours

නිවාස අවශ්‍යතා සහිත පවුල් දෙකක් වෙත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් නව නිවාස

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භටපිරිස්හි සම්බන්ධීකරණය මත සිදුකරනු ලබන ප්‍රජා මූලික ව්‍යපෘතීන් අතරින් තවත් එක් ව්‍යපෘතියක් ලෙස ‘Hayley’s PLC Ltd’ ආයතනයේ මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් කල්ලඩි, ඊචලන්පත්තු ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන පවුල් දෙකක් සඳහා නව නිවාස ඉදිකර දෙන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 222 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 24 වන විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස්හී ශ්‍රම දායකත්වය මත මෙම නව නිවාස ඉදිකරනු ලැබූ අතර 73 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමව පසුගිය සඳුදා (10) දින නිවාසලාභීන් වෙත එම නව නිවාස පවරාදෙන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ගේ උපදෙස් මත 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සාලිය අමුණුගම සහ 222 වන බලසේනාවේ කාර්යයේ නියුතු බලසේනාධිපති කර්නල් නිමල් චන්ද්‍රසේකර ගේ අධීක්‍ෂණය මත භටපිරිස්හි ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම උපයෝගී කරගනිමින් ඉදිකරන ලද එම නව නිවාස සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය ‘Hayley’s PLC Ltd’ ආයතනයේ අධ්‍යක්‍ෂ ශර්මිලා රගුනාදන් මහත්මිය විසින් ලබාදෙනු ලැබීය.

24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ජගත් රත්නප්‍රිය ගේ සම්බන්ධීකරණය මත අනුග්‍රාහක භවතුන් විසින් මෙම ව්‍යාපෘති සඳහා දායකත්වය දැක්විය. මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සාලිය අමුණුගම විසින් නිවාසලාභීන් වෙත නව නිවෙස් සංකේතාත්මකව භාරදෙන ලදී.

චාරිත්‍රානුකූලව නව නිවාස විවෘත කිරීමෙන් අනතුරුව 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සාලිය අමුණුගම ගේ සුරතින් නිවාසලාභී ජයනන්දන් තමරවෙල්වි මහත්මිය සහ කාර්තික් උෂාන්දනී මහත්මිය වෙත නව නිවෙස්වල යතුරු භාරදෙනු ලැබීය.

මෙම උත්සව අවස්ථාවන් සඳහා අනුග්‍රාහක භවතුන්ගේ නියෝජිතයින්ද සහභාගී වූ අතර, එහිදී භටපිරිස් විසින් නිවාසලාභීන් වෙත ගෘහ උපකරණ කිහිපයක් ද ප්‍රදානය කරනු ලැබූහ.

මෙම අවස්ථාව සඳහා 222 වන බලසේනාවේ කාර්යයේ නියුතු බලසේනාධිපති, සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 22 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරීන්, සෙසු නිලයින් ඇතුළු තවත් පිරිසක්ද සහභාගි වූහ.