Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th October 2022 09:49:49 Hours

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක යුද විද්‍යාලයේ සංචාරයක

කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් පෝල් ක්ලේටන් එම්බීඊ (Paul Clayton MBE) පසුගිය බ්‍රහස්පතින්දා (13) දින බුත්තල පිහිටි යුද්ධ හමුදා යුධ විද්‍යාලයේ සුහද සංචාරයක නිරත විය.

යුධ විද්‍යාලය වෙත පැමිණි කර්නල් පෝල් ක්ලේටන් එම විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක සහ ප්‍රධාන උපදේශක විසින් පිළිගනූ ලැබූ අතර, අනතුරුව, යුධ විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟින් එම විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් වයි.ඒ.බී.එම් යහම්පත් හමුවූහ. එහිදී, මෙම සුහද සංචාරය සනිටුහන් කිරීම සඳහා බ්‍රිගේඩියර් වයි.ඒ.බී.එම් යහම්පත් විසින් කර්නල් පෝල් ක්ලේටන් වෙත සමරු තිළිණක්ද ප්‍රධානය කරනු ලැබීය.

මෙම සුහද හමුවේදී, පුහුණු වීම් කටයුතුවලට අදාළව යුද්ධ හමුදා යුද විද්‍යාලයේ විෂය මාලාව පිළිබඳව සහ ඒ සඳහා සහය ලබාදීමේ හැකියාව පිළිබඳවත් කර්නල් පෝල් ක්ලේටන් සමඟින් සාකච්ඡා කරන ලදී.

සුහද හමුවෙන් අනතුරුව කර්නල් පෝල් ක්ලේටන් යුද විද්‍යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරය, පුස්තකාලය, ආරක්‍ෂක අධ්‍යයන ශාඛාව සහ වැලි ආකෘතිපත් පංති කාමරය ද නිරීක්‍ෂණ කරන ලදී. ඉන් අනතුරුව, එම විද්‍යාලයේ නිලධාරී නිවස්නයේදී අනෙකුත් නිලධාරීන් සමඟින්ද සුහදව අදහස් හුවමාරු කරගන්නා ලදී.