Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th October 2022 13:20:08 Hours

ඉංජිනේරු සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ලංකා අමරපාල පසුගිය බදාදා (12) දින ආගමික වතාවත් හා හමුදා සම්ප්‍රදායානුකූලව මත්තේගොඩ යුද්ධ හමුදා කඳවුරේ ස්ථාපිත ඉංජිනේරු සේනාංක මූලස්ථානයේදී රාජකාරි ආරම්භ කළේය.

ඉංජිනේරු සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් එම සේනාංකයේ කර්නල් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, එහිදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකලහ. අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීම සඳහා කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී විසින් මේජර් ජෙනරල් ලංකා අමරපාල එම මූලස්ථාන සරඹ භූමියේ ප්‍රධාන පීඨිකාව වෙත කැටුව යන ලදී.

අනතුරුව, මේජර් ජෙනරල් ලංකා අමරපාල මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරනු ලැබීය. එහිදී එතුමන් සමූහ ඡායාරූපයකටද පෙනී සිටි අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් විසින් කඳවුරු පරිශ්‍රයේ පැළයක්ද රෝපණය කරන ලදී.

ඉන් අනතුරුව, ඉංජිනේරු සේනාංක මූලස්ථානයේ සියළු නිලයින් අමතමින් නව සේනාංකාධිපතිතුමන් තම ඉදිරි දැක්ම ප්‍රකාශකරන ලදී. තවද, එහිදී එම සේනාංකයේ කාර්යක්‍ෂමතාවය සහ දියුණුව වෙනුවෙන් කැපවී කටයුතු කරන ලද සියළුම දෙනා වෙත සිය කෘතඥතාව පළ කළේය.

එම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් පැවති සියළු නිල තේ පැන් සංග්‍රහය සඳහා සහභාගී වූ එතුමන් එහිදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟද සුහදව අදහස් හුවමාරු කරගන්නා ලදී.

එම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසලේ සේනාවිධායක, ඒකක අණදෙන නිලධාරීන්, ඉංජිනේරු සේනාංක මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.