Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th October 2022 19:21:29 Hours

5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය විසින් විශේෂ අවශ්‍යතා සහිත ළමුන් වෙනුවෙන් වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සම්බන්ධීකරණයෙන් වැලිකන්ද ප්‍රදේශයේ ස්ථාපිත 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා භටපිරිස් විසින් මඩකලපුව, සතුර්කොන්දන් ප්‍රදේශයේ පිහිටි ‘Ozanam’ මධ්‍යස්ථානයේ නේවාසිකව සිටින විශේෂ අවශ්‍යතා සහිත ළමුන් වෙත වියළි සලාක පාර්සල් සහ ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පසුගිය ඉරිදා (09) දින පිරිනමනු ලැබූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන විසින් ලබාදුන් උපදෙස් මත 5 වන(ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සාමාජිකාවන් සහ 4 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර, එහිදී කාන්තා භටපිරිස් විසින් රුපියල් 60,000.00 වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් එම මධ්‍යස්ථානයේ සිටින දරුවන් 24 දෙනෙකුගේ මව්පියන් වෙත පිරිනමනු ලැබූහ. තවද, මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන එහි නේවාසිකව සිටින විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සමඟ සුහඳව පැය කිහිපයක් ගත කිරීමටද කටයුතු කළේය.

විවිධ කුසලතා ඇති එම දරු දැරියන් විසින් ඔවුන්ගේ කලා නිර්මාණ සහ නැටුම් ගැයුම් ආදි විනෝදාස්වාද ජනක අංගයන් ඉදිරිපත් කරමින් සහභාගී වූ පිරිස විනෝදාස්වාදයට පත්කරන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සිවිල් සම්බන්ධීකරන නිලධාරී ලුතිනන් කර්නල් ප්‍රභාත් හල්පගේ, 231 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරන නිලධාරී ලුතිනන් කර්නල් දම්මික වීරසිංහ, 231 වන බලසේනාව යටතේ ස්ථාපිත ඒකකයන්හි ඒකක අණදෙන නිලධාරීන් සහ නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ.