Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th October 2022 21:00:03 Hours

2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායට නව බහුකාර්ය පහසුකම් ගොඩනැගිලි සංකීර්ණයක්

උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන්හී විනයාරක්‍ෂක රාජකාරීන්හී නිරතව සිටින ගිරිතලේ ස්ථාපිත 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මූලස්ථාන පරිශ්‍රයේ දීර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවති මහල් දෙකකින් සමන්විත බහුකාර්ය පහසුකම් ගොඩනැගිලි සංකීර්ණය පසුගිය බ්‍රහස්පතින්දා (13) දින උදෑසන විවෘත කරනු ලැබීය.

සීමාසහිත AIA රක්‍ෂණ සමාගම සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඒකාබද්ධව ලබාදුන් මූල්‍ය අනුග්‍රාහකත්වය මත ඉදිකරනු ලැබූ මෙම බහුකාර්ය ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති සහ ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් ඒ.එල් ඉලංගකෝන් ගේ ආරාධනයකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී විය. සන්නද්ධ හමුදා සුබසාධන අංශයේ විධායක නිලධාරී ලුතිනන් කර්නල් (විශ්‍රාමික) ඩී.එම්.එස් ජයවර්ධන විසින් මෙම ව්‍යාපෘතියේ අනුග්‍රාහක භවතුන්ගේ සම්බන්ධීකරණය කටයුතු සිදුකරනු ලැබූහ.

2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කඳවුර වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ටී.ආර්.ඩී සලෛයි විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම ඒකකයේ භටපිරිස් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ.

ඉන් අනතුරුව, අභිනවයෙන් ඉදිකරනු ලැබූ බහුකාර්ය ගොඩනැගිලි සංකීර්ණය ඉදිරිපිටදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එල් ඉලංගකෝන් විසින් යුද්ධ හමුදාපතිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව විශේෂ සමරු ඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපා නව ගොඩනැගිල්ල විවෘත කරන ලෙස එතුමන් වෙත ආරාධනා කරන ලදී. පසුව, එම අවස්ථාවට සහභාගී වූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ එක්ව යුද්ධ හමුදාධිපතිතුමන් නව ගොඩනැගිලි සංකීර්ණයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙමින් එම ව්‍යාපෘතිය සදහා දායකත්වය දැක්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා භටපිරිස්හී කැපවීම ඇගයීමට ලක්කළේය.

2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ හිටපු අණදෙන නිලධාරින් මෙන්ම වත්මන් අණදෙන නිලධාරි මේජර් එන්.පී.ඊ.එන්. නෙරංගම ගේ සාමූහික උත්සහය තුලින් මෙම නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමට හැකියාව ලැබිණි.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ යුද්ධ හමුදාධිපතිතුමන් සමූහ ඡායාරූපයකයද පෙනී සිටි අතර, අනතුරුව විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහභාගීත්වය ඇගයීමට ලක්කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපතිතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළේය.

මෙම අවස්ථාව සදහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.එන් ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී මෙත්තානන්ද යූඑස්පී, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර බ්‍රිගේඩියර් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී, යුද්ධ හමුදා මූලස්ථානයේ විනයාරක්‍ෂාධිපති බ්‍රිගේඩියර් බී.එල්.ආර් බමුණුසිංහ ඇතුළු යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්වූහ.