Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th October 2022 13:49:36 Hours

යුද්ධ හමුදා මූලස්ථානය අභියසදී ජංගම කෘෂිකාර්මික නිෂ්පාදන අලෙවිසැලක් විවෘත කෙරේ

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ යෝජනාවකට අනුව සියලුම යුද්ධ හමුදා සාමාජිකයින් මුහුණපාන ආර්ථික දුෂ්කරතා පිළිබඳ සලකා බලා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය සමඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය එක්ව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් නිෂ්පාදනය කරනු ලබන එළවළු සහ කිරි නිෂ්පාදන සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සහන මිලට අලෙවි කිරීමේ ජංගම කෘෂිකාර්මික නිෂ්පාදන අලෙවිසැලක් පසුගිය අඟහරුවාදා (11) දින පස්වරුවේ විවෘත කරන ලදී.

73 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව බත්තරමුල්ල, පැලවත්ත යුද්ධ හමුදා මූලස්ථානයේ රථගාල අසල විවෘත කරනු ලැබූ මෙම ජංගම කෘෂිකාර්මික නිෂ්පාදන අලෙවිසැල සෑම අඟහරුවාදා සහ සිකුරාදා දිනකම පස්වරු 3.00 සිට 6.00 දක්වා විවෘතව තිබේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම්. අබේසේකර ආර්එස්පී යූඑස්පී ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මෙම ජංගම කෘෂිකාර්මික නිෂ්පාදන අලෙවිසැලෙහි ව්‍යපාරික කටයුතුවල ආරම්භය සනිටුහන් කරමින් සංකේතාත්මකව එළවළු සහ අනෙකුත් නිෂ්පාදන කිහිපයක් මිලදී ගනු ලැබීය.

මෙම සමාරම්භක අවස්ථාව සඳහා යුද්ධ හමුදා ප්‍රධාන මාණ්ඩලික නිලධාරි මේජර් ජෙනරල් ටී.ජේ. කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම්. අබේසේකර ආර්එස්පී යූඑස්පී, කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඒ. කේ. රාජපක්‍ෂ ආර්එස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් එක්වූහ.