Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th October 2022 18:00:39 Hours

පොම්පේමඩු බලඇණි පුහුණු පාසලේ පැවති විශේෂ අතිරේක ප්‍රහාරක ඛණ්ඩ පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන්

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ උපදෙස් පරිදි ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් වෙනුවෙන් 2022 අගෝස්තු මස 22 දින සිට 2022 ඔක්තෝබර් මස 03 දින දක්වා පොම්පේමඩු බලඇණි පුහුණු පාසලේදී විශේෂ අතිරේක ප්‍රහාරක ඛණ්ඩ පුහුණු පාඨමාලාවක් පැවැත්විණි.

අනතුරු ඇඟවීමේ ආරක්‍ෂක ක්‍රියාන්විත සහ වෙඩි තැබීම්, GPS යන්ත්‍ර හැසිරවීම, මාර්ෂල් ආට්, ආත්මාරක්‍ෂක සටන් ක්‍රම, අවි රහිත සටන් ක්‍රම, ප්‍රභූ ආරක්‍ෂාව, පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීම සහ නිෂ්ක්‍රීය කිරීම, අවි හැසිරවීම, සෝදිසි කිරීම සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, වෙඩි තැබීම්, යුද මූලධර්මයන්, සමාජ මෙහෙයුම් ක්‍රියා පටිපාටි, සහ ආරක්‍ෂක රාජකාරි පිළිබදව යුද්ධ හමුදා භටපිරිස් වෙත ප්‍රායෝගික මෙන්ම න්‍යායාත්මක දැනුම ලබාදීමේ අරමුණින් මෙම පාඨමාලාව පැවැත්විණි.

පාඨමාලාවේ සමාප්ති දේශනය ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ විසින් පවත්වනු ලැබූ අතර එම අවස්ථාව සඳහා 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කාරියවසම්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගී වූහ.

පාඨමාලාවේ හොඳම ඛණ්ඩයට හිමි සම්මානය ඛණ්ඩ භාර නිලධාරි 20 වන ගජබා රෙජිමේන්තුවේ ලුතිනන් යූ.එම්.ටී.කේ. ද සිල්වා ඇතුළු නිලධාරීන් සහ සෙසුනිලයන් විසින් දිනාගත් අතර සෑම අතින්ම අතිශූර සෙබලාට හිමි සම්මානය 10 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ කෝප්‍රල් ප්‍රේමසිරි විසින් දිනාගත්තේය. එමෙන්ම, 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල එම්. සඳරුවන් දක්‍ෂතම වෙඩික්කරුට හිමි සම්මානයත් 9 වන ගජබා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල අමරසේන විසින් හොඳම ශාරීරික අභ්‍යාස උපදේශකට හිමි සම්මානයත් දිනාගත්හ.

තරඟාවලියේ, 8 දෙනෙකුගෙන් යුත් හොඳම කණ්ඩායම ලෙස 54 වන සේනාංක කණ්ඩායම සම්මාන දිනාගත්තේය.