Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th October 2022 20:05:33 Hours

231 වන බලසේනාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 73 වන සංවත්සර දිනයට සමගාමීව 23 වන සේනාංකය යටතේ ස්ථාපිත 231 වන බලසේනාවට අයත් 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් තනෝජ් බියගම මහතාගේ සහ ‘අපි මනුස්සයෝ’ සංගමයේ සාමාජිකයින්ගේ අනුග්‍රහකත්වය මත පසුගිය සඳුදා (03) දින ගැමුණුපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මංගලගම, කෙවිලියාමඩු සහ තන්තමලේ ප්‍රදේශවල පදිංචි අවශ්‍යතා සහිත සිවිල් වැසියන් වෙත එකක් රුපියල් 5000.00 ක වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් 75 ක් බෙදාදෙන ලදී.

මීට අමතරව, මංගලගම, ශ්‍රී ධර්මාරාම විහාරස්ථානයේ පැවති එම වැඩසටහනේදී ප්‍රදේශයේ ගර්භනී කාන්තාවන් 31 දෙනෙකු වෙනුවෙන් එකක් රුපියල් 10,000 ක වටිනාකමකින් යුත් ත්‍යාග පාර්සල් පරිත්‍යාග කරන ලදී.

231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු සමාජ ක්‍රියාකාරීන්, ශෂිකලා ගුණරත්න මහත්මිය සහ මදාරා රණවීර මහත්මිය විසින් සිදුකරන ලදී.

මෙම පරිත්‍යාග උත්සවයට 231 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් ධම්මික වීරසිංහ, 11 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ වැඩබලන අණදෙන නිලධාරි මේජර් අසේල යාපා, යුද්ධ හමුදා භටපිරිස් සහ ප්‍රදේශවාසීන් ද සහභාගී වූහ.