Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th October 2022 21:54:42 Hours

වසර 16 කට පසු පිහිනුම් ජාතික තරගාවලියේ ශූරතාවය යුද්ධ හමුදාවට

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය සංවිධානය කරන ලද ජාතික හා කනිෂ්ඨ ජාතික පිහිනුම් ශූරතාවලිය - 2022 තරඟාවලිය සුගතදාස ක්‍රීඩාංගණයේ පිහිනුම් තටාකයේදී ඔක්තෝබර් මස 4 දින සිට 7 දින දක්වා පැවති අතර එම තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් සමත් වූහ.

වසර 5 ක් පුරාවට ජයග්‍රහණය තමන් සතුකරගනිමින් ලකුණු 18 කින් ඉදිරියෙන් සිටි ‘Killer Whale Aquatics’ කණ්ඩායම පරදවමින් වසර 16 ක් මෙම පිහිනුම් තරඟාවලියට සහභාගී නොවු ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් නොහැක්කක් නොමැත යන්න සනාථ කර ලකුණු 322 ක් ලබාගනිමින් ජයග්‍රහණය කිරීමට සමත්විය. ශ්‍රී ලංකා යුද හමුදා පිහිනුම් කණ්ඩායමේ පුහුණුකරු වන මේජර් රොෂාන් පීරිස් ගේ මඟපෙන්වීම යටතේ පිහිනුම් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිහිනුම් කණ්ඩායම මෙම තරඟාවලියට සහභාගී විය. ‘Killer Whale Aquatics’ කණ්ඩායම ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායමට වඩා ලකුණු 26 ක් ඉදිරියෙන් සිටිමින් අවසන් තරඟය සඳහා සහභාගී විය.

එමෙන්ම, ජාතික ඒක පුද්ගල ශූරතාවය යුද්ධ හමුදාවේ 5 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ ලුතිනන් එච්.ඩී. අකලංක පීරිස් සහ ‘Killer Whale Aquatics’ කණ්ඩායමේ රමුදි සමරකෝන් විසින් දිනාගනු ලැබූහ. මෙම තරගකරුවන් දෙදෙනා රන් පදක්කම් 5 බැගින් දිනාගෙන නව ජාතික වාර්ථාවන් පිහිටුවමින් හොඳම පිහිනුම් ක්‍රිඩකයින් ලෙස ශූරතාවයට හිමිකම් කියනු ලැබූහ. ලුතිනන් අකලංක පීරිස් 2 වන දිනයේදී මීටර් 50 පසුපස ආර පිරිමි ඉසව්වෙන් තත්පර 26.12 ක නව ජාතික වාර්තාවක් පිහිටුවමින් 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ඔහු විසින් මීට පෙර තැබූ වාර්ථාව බිඳ දැමුවේය.

යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් එක් එක් කාණ්ඩයන් යටතේ රන් පදක්කම් 17 ක්, රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගනු ලැබූහ. මෙම තරගාවලියට පිහිනුම් කණ්ඩායම් 64 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 316 ක් සහභාගි වූහ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුවේ සභාපති සහ යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික‍මේජර් ජෙනරල් නිශාන්ත මානගේ තරඟාවලිය සඳහා සහභාගී වීමට යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් දිරිමත් කළ අතර තරඟාවලිය සඳහා සහභාගී වීම සඳහා මඟපෙන්වීම් ලබාදුන්නේය.

මෙම තරඟාලියේ කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය සිකුරාදා (7) දින සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

අඛණ්ඩව 3 වන වරටත් ජාතික ශූරතාව හිමිකර ගනිමින් ලකුණු 211 ක් ලබාගෙන කොළඹ, විශාඛා විද්‍යාලීය පිහිණුම් ක්‍රීඩිකාවන් කාන්තා ජාතික ශූරතාව දිනාගත් අතර බාලක කනිෂ්ඨ ජාතික ශූරතාව ලකුණු 173 ක් දිනාගනිමින් කොළඹ, ශාන්ත ජෝශප් විද්‍යාලයේ පිහිණුම් ක්‍රීඩකයින් විසින් හිමිකරගත්හ. එමෙන්ම, බාලිකා ජාතික කනිෂ්ඨ ශූරතාව කොළඹ 07, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලීය පිහිණුම් ක්‍රීඩිකාවන් විසින් ලකුණු 128 ක් හිමිකරගනිමින් දිනාගත්හ.