Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th October 2022 14:00:53 Hours

ලෝක ළමා දිනය වෙනුවෙන් යුද්ධ හමුදා භටපිරිස් තවත් වැඩසටහන් ක්‍රියාත්මක කරයි

ලෝක ළමා දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත දිවයින පුරා සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඊට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 681 වන බලසේනාවේ භටපිරිස් 6 වන ගැමුණු හේවා බලකායේ සහ 9 වන ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්හී සහයෝගය මත පසුගිය සෙනසුරාදා (01) දින වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, 681 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත 6 වන ගැමුණු හේවා බලකායේ සහ 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිලධාරින් සහ සෙසුනිලයන් විසින් අවශ්‍යතා සහිත ගර්භනී කාන්තාවන් සහ ළමුන් සඳහා වියළි සලාක පාර්සල් 20 ක් බෙදාදෙන ලදී.

මේ අතර, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 662 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 20 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී, මුලතිව් ප්‍රදේශයේ සුප්‍රසිද්ධ පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රාහකත්වය මත පසුගිය සෙනසුරාදා (01) දින ආනවිලන්දන්කුලම් ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන අවශ්‍යතා සහිත සිසු සිසුවියන් 30 දෙනෙකු වෙනුවෙන් එම ඒකකයේ භටපිරිස් විසින් පාසල් පාවහන් පරිත්‍යාග කරන ලදී.

20 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලැබූ මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා එම විදුහලේ ගුරු භවතුන්, දෙමාපියන්, යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්වූහ.

එමෙන්ම, හබරණ පිහිටි 53 වන සේනාංක මූලස්ථානයේ භටපිරිස් විසින් ‘ලෝක ළමා දිනය’ වෙනුවෙන් සියඹලාණ්ඩුව පුබුදු පෙර පාසලේ සහ දිගම්පතන සිඟිති පෙර පාසලේ ළමුන් වෙත පාසල් ලිපි ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (1) දින සියඹලාණ්ඩුව පුබුදු පෙර පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි. එම වැඩසටහන සමාප්තියේ භටපිරිස් විසින් පෙරපාසල් ළමුන් වෙනුවෙන් ප්‍රණීත ආහාර සහ දිවා භෝජන සංග්‍රහයක් ද පරිත්‍යාග කළහ. මෙම වැඩසටහන 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උදය හේරත් ‍ගේ අධීක්‍ෂණය මත ක්‍රියාත්මක කරන ලදී.

මේ අතර, 64 වන සේනාංකයට අයත් 642 වන බලසේනාව යටතේ ස්ථාපිත 17 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් ඔවුන්ගේ මූල්‍ය දායකත්වය මත තවත් ප්‍රජා සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් පෙරියඇත්තිමඩු රජයේ දෙමළ මිශ්‍ර පාසලේ අවශ්‍යතා සහිත සිසු සිසුවියන් වෙත පාසල් පොත් සහ ක්‍රීඩා උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (30) පැවැත්වීය. මෙම වැඩසටහන සමාප්තියේ, භටපිරිස් විසින් කුඩා ළමුන්, ගුරු භවතුන් සහ දෙමාපියන්ට තේ පැන් සහ දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමීය.

එමෙන්ම, 23 වන ගජබා රෙජිමේන්තුවේ සහ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් ලෝක ළමා දිනය වෙනුවෙන් සූරියවැව, හත්පෝරුව රජයේ කනිෂ්ඨ විද්‍යාලයේ සිසු සිසුවියන් වෙත පාසල් පොත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (1) දින පැවැත්වීය. යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ඉල්ලීමකට අනුව ඇලරිස් ලංකා පුද්ගලික සමාගමේ (Alaris Lanka (Pvt) Ltd) කළමනාකාර අධ්‍යක්‍ෂ තරංග වීරවර්ධන මහතා විසින් මෙම වැඩසටහන සඳහා මූල්‍ය අනුග්‍රහකත්වය ලබාදෙන ලදී.

එම පරිත්‍යාග වැඩසටහන සමාප්තියේ භටපිරිස් විසින් එම පාසලේ සිසු සිසුවියන් 322 දෙනා වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමූහ. 122 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නදීක කුලසේකර ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

මේ අතර, මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ භටපිරිස් විසින් ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් එම පුහුණු පාසල් පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (1) දින වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබූ අතර ඒ සඳහා පොලොන්නරුව, ගිරිතලේගම රජයේ ජාතික පාසලේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් සහභාගී වූහ.

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් චන්දන රණවීර ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා ගිරිතලේගම රජයේ ජාතික පාසලේ විදුහල්පති, ගුරු භවතුන් සහ සිසු සිසුවියන් සහභාගී වූහ.

12 වන සේනාංකය යටතේ ස්ථාපිත 121 වන බලසේනාවට අයත් 18 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් ලෝක ළමා දිනය වෙනුවෙන් මාලිගාවිල, දඹේගොඩ ‘බෝසත්’ පෙර පාසල් පරිශ්‍රයේදී පෙරපාසල් ළමුන් 30 දෙනෙකු වෙත රසවත් ආහාර වේලක් සහ ත්‍යාග පිරිනැමූහ. මෙම වැඩසටහන ආරම්භ කිරීමට ප්‍රථම භටපිරිස් විසින් පෙරපාසල් පරිශ්‍රය පිරිසිදු කළ අතර එම පෙරපාසලේ ක්‍රීඩාපිටියේ අලුත්වැඩියා කටයුතු ද සිදුකරන ලදී.

දින තුනක් පුරාවට පැවති මෙම වැඩසටහන 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල, 121 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජනක උඩෝවිට සහ 18 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි විසින් අධීක්‍ෂණය කලහ.

දඹුල්ල, කිරලගොල්ල ප්‍රදේශයේ පිහිටි 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් පසුගිය සෙනසුරාදා (1) දින තවත් ළමා දින වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් මාතලේ යහපත් එඬේරාගේ කන්‍යාරාමයේදී පාසල් සිසු සිසුවියන් වෙත පාසල් පොත් ඇතුළු අත්‍යාවශ්‍ය පාසල් උපකරණ බෙදාදුන්හ. එහිදී, යුද්ධ හමුදා භටපිරිස් විසින් කැලිප්සෝ සංගීතය සපයමින් ළමුන් විනෝදාස්වාදයට පත්කළහ.

මේ අතර, මාතලේ, නාඋල විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ භටපිරිස් විසින් ලෝක ළමා දිනයේදී ‘සෙනෙහස’ බෞද්ධ ළමා සංවර්ධන මධ්‍යස්ථානය සහ ප්‍රදීපා බෞද්ධ බාලිකා ළමා නිවාසය වෙත පසුගිය සෙනසුරාදා (1) දින පොත් සහ ආහාර වේලක් පිරිනැමූහ. මීට අමතරව, ලෝක ළමා දිනය වෙනුවෙන් විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් පසුගිය සිකුරාදා (30) දින මාතලේ, කවුඩුපැලැල්ල සිංහල විද්‍යාලයේ සිසුන් සඳහා නායකත්ව පුහුණු සැසියක් පැවැත්වූහ.

එමෙන්ම, ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ ගේ යෝජනාවකට අනුව ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් මුලතිව්, කරිපද්දමුරිප්පු ගම්වාසීන් සඳහා අපජල පිරිසිදු කිරීමේ නව ඒකකයක් ස්ථාපිත කරන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා සත්‍යසායි ජාත්‍යන්තර සංවිධානයේ සභාපති වී. මනෝහරන් මහතා විසින් මූල්‍ය අනුග්‍රාහකත්වය ලබාදෙන ලදී. ජලය පිරිසිදු කිරීමේ නව ඒකකයේ සමාරම්භක අවස්ථාවට සමගාමීව ප්‍රදේශයේ තෝරාගත් අවශ්‍යතා සහිත දරුවන් 15 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ පොත් පරිත්‍යාග කරනු ලැබීය.

මෙම අවස්ථාවේදී වී මනෝහරන් මහතා දේශනයක් සිදුකරමින් යුද්ධ හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාරක වැඩසටහන් පිළිබඳ ප්‍රශංසා කළ අතර එම ප්‍රජා මූලික ව්‍යාපෘති තුලින් ආර්ථිකමය දුෂ්කරතා සහිත අයවළුන් වෙත ප්‍රතිලාභ ලබාදීම පිළිබඳ එතුමන්ගේ සතුට පළ කළේය. මෙම අවස්ථාවට මේජර් ජෙනරල් සංජය වනසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

මේ අතර, මුලතිව්, සමන්කුලම් රජයේ දෙමළ මිශ්‍ර පාසලේ සිසු සිසුවියන් සහ ගුරු භවතුන් වෙත දිවා ආහාර පාර්සල් 25 ක් බෙදාදීමේ වැඩසටහනක් 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ලෝක ළමා දිනයේදී ක්‍රියාත්මක කරන ලදී.

එමෙන්ම, 64 වන සේනාංකයට අයත් 643 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් ලෝක ළමා දිනය වෙනුවෙන් ප්‍රදේශයේ ඩෙංගු රෝගය පැතිරයාම වැළැක්වීම සඳහා තද්දියමලේ ග්‍රාම නිලධාරි වසමේ, පෙරියසාම්බලන් ‘ජනා’ පෙරපාසල් පරිශ්‍රය පිරිසිදු කරන ලදී. ඒ සඳහා ගුරු භවතුන්ගේ සහ දෙමවුපියන්ගේ සහයෝගය ද හිමිවිය.