Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th October 2022 13:30:53 Hours

552 වන බලසේනාවේ භටපිරිස් යාපනය ශික්‍ෂණ රෝහලේ ප්‍රයෝජනය වෙනුවෙන් ලේ දන් දෙති

73 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 552 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 23 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් මුහමාලේ ප්‍රදේශයේ පිහිටි 23 වන ගැමුණු හේවා බලකා මූලස්ථානයේදී පසුගිය අඟහරුවාදා (4) දින ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා 55 වන සේනාංකය යටතේ ස්ථාපිත සියලුම ඒකකයන් නියෝජනය කරමින් නිලධාරීන් සහ සෙසුනිලයින් ඇතුළු 120 කට අධික පිරිසක් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී යාපනය ප්‍රදේශයේ රෝගීන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් සිය රුධිරය පරිත්‍යාග කළහ. යුද්ධ හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන සිවිල් වැසියන්ට සහන සැලසීමේ අරමුණින් යාපනය රෝහල් බලධාරීන් සමඟ සාකච්ඡා කර මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ගේ උපදෙස් සහ 552 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජයනාත් ජයවීර ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන සාර්ථකව පැවැත්විණි.

යාපනය ශික්‍ෂණ රෝහලේ පවතින රුධිර පට්ටිකා සහ රුධිර ප්ලාස්ම හිඟය හේතුවෙන් හදිසි ශල්‍යකර්ම සඳහා රුධිර අවශ්‍යතාවය සපුරාලීමට එම රෝහලේ ප්‍රාදේශීය රුධිර මධ්‍යස්ථානය විසින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

යාපනය ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සමඟ 552 වන බලසේනාවේ භටපිරිස් එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, 23 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි මේජර් ආර්.එම්.ආර්.බී. රත්නායක ගේ අධීක්‍ෂණය මත එම බලකායේ භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.