Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th October 2022 20:48:26 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 66 වන සංවත්සරය අභිමානවත්ව සැමරේ

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 66 වන සංවත්සර දිනය 2022 ඔක්තෝම්බර් මස 01 දිනට යෙදී තිබූ අතර ඒ වෙනුවෙන් අඹේපුස්ස පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සැමරුම් උත්සව මාලාවක් පැවැත්විණි.

රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවති සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් නිශාන්ත මුතුමාල විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

රෙජිමේන්තු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමූහ. ඉන් අනතුරුව, එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන වෙත සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය පුදකළහ.

පසුව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ප්‍රමුඛ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් එක්ව එම රෙජිමේන්තු පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී රටේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් 3929 දෙනෙකු සිහිකොට පුෂ්පෝපහාර පුදකරමින් ඔවුන්ට පිං අනුමෝදන් කළහ.

ඉන් අනතුරුව, එම රෙජිමේන්තුවේ සෙසුනිල භෝජනාගාරයේදී පැවති දිවා භෝජන සංග්‍රහයට ද මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන සහභාගී විය. මෙම සැමරුම් උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් නිලධාරි නිවස්නයේදී සුහද හමුවක් පැවැත්විණි.