Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th October 2022 14:27:53 Hours

යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

නව හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා සංඥා බලකායේ බ්‍රිගේඩියර් රවී හේරත් අද (06) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේදී රාජකාරි භාරගන්නා ලදී.

යුද්ධ හමුදා මූලස්ථානයේ 19 වන ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් රවී හේරත් රාජකාරි භාරගත් අතර මීට ප්‍රථම ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ ධූරයේ රාජකාරි හෙබවූ බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ධූරයට පත්කෙරිණි.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ බ්‍රිගේඩියර් රවී හේරත් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ වශයෙන් ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය. ඉන් අනතුරුව, මහා සංඝරත්නය වෙත පිරිකර පූජා කළ නව ජනමාධ්‍ය අධ්‍යක්‍ෂතුමන් එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරින් කිහිපදෙනෙකු සමඟ එක්ව සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වූහ.

ඉන් අනතුරුව, බ්‍රිගේඩියර් රවී හේරත් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව නිලධාරින් සහ සෙසුනිලයන් අමතමින් ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්තව්‍යයන් පිළිබඳ එතුමන්ගේ ඉදිරි දැක්ම ප්‍රකාශ කරන ලදී.

ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් යුද්ධ හමුදා මූලස්ථානයේ ඉදිරිදර්ශන සැලසුම් හා ක්‍රියාත්මක කිරීමේ අංශයේ ප්‍රථම අධ්‍යක්‍ෂ වශයෙන් ධූරයේ රාජකාරි හෙබවිය.

මෙම චාම් උත්සව අවස්ථාව සඳහා සංඥා බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඉමල් අස්සලආරච්චි, ශ්‍රී ලංකා සංඥා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා, ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් ජනමාධ්‍ය කර්නල් ධම්මික අධිකාරි, යුද්ධ හමුදා මාධ්‍ය උපදේශක සිසිර විජේසිංහ මහතා, 12 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරී කර්නල් කේ.වී.පී. ධම්මික, ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 ලුතිනන් කර්නල් බිමල් ජයශාන්ත ඇතුළු එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් එක්වූහ.

මාතලේ ප්‍රදේශයේ උපන් බ්‍රිගේඩියර් රවී හේරත් වර්ෂ 1990 දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳී දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුලින් මූලික පුහුණුව හැදෑරීමෙන් අනතුරුව වර්ෂ 1991 දී දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත් විය.

ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ අණ හා මාණ්ඩලික පාඨමාලාව හදාරන අතරතුර එතුමන් කැළණිය විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂ අධ්‍යනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය මෙන්ම ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති (MPhil) උපාධිය ද ලබාගෙන ඇත.

දේශීය හා විදේශීය පාඨමාලා රැසක් හදාරා ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් කූගර් (සංඥා උපකරණ) අළුත්වැඩියා සහ නඩත්තුව පිළිබඳ පාඨමාලාව - එක්සත් රාජධානිය, සංඥා කණ්ඩායම් අණදෙන නිලධාරි පාඨමාලාව - ඉන්දියාව, නෝර්ඩික් ආරක්ෂක සහයෝගීතාව/ ඒකාබද්ධ අර්බුද කළමනාකරණ පාඨමාලාව - ෆින්ලන්තය, බහුජාතික සන්නිවේදන හඳුන්වාදීමේ වැඩසටහන - හවායි සහ ජාතික ආරක්‍ෂක පාඨමාලාව - ඉන්දියාව, තරුණ නිලධාරී පාඨමාලාව - සංඥා පුහුණු පාසල, ජේසෝර්, බංගලාදේශය වැනි විදේශ පාඨමාලාවන් මෙන්ම එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් පුහුණු පාඨමාලාව, පාබල කණ්ඩායම් අණදෙන නිලධාරි පාඨමාලාව, සංඥා තරුණ නිලධාරී පාඨමාලාව සහ නිලධාරි විශිෂ්ඨතා පාඨමාලා අංක 3, ආදී දේශීය පාඨමාලාවන් රැසක් හදාරා ඇත.

නව ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම බ්‍රිගේඩියර් රවී හේරත් 1 වන සහ 5 වන ශ්‍රී ලංකා සංඥා බලකායන්හී අණදෙන නිලධාරී, යුද සේවා ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරි 1, සංඥා පුහුණු පාසලේ සේනාවිධායක, 542 වන බලසේනාවේ බලසේනාධිපති, ආරක්‍ෂක අමාත්‍යාංශයේ දේශසීමා අවදානම් තක්සේරු මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ, යුද්ධ හමුදා මූලස්ථානයේ ඉදිරිදර්ශන සැලසුම් හා ක්‍රියාත්මක කිරීමේ අංශයේ ප්‍රථම අධ්‍යක්‍ෂ වැනි ධූරයන් ද හොබවා ඇත.