Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th October 2022 13:30:16 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් දිවයින පුරා ප්‍රදේශ රැසක ජාත්‍යන්තර ළමා දින සැමරැම්

ඔක්තෝබර් මස (1) දිනට යෙදී තිබූ ජාත්‍යන්තර ළමා දින සැමරුම වෙනුවෙන් යුද්ධ හමුදා භටපිරිස් විසින් උත්සවයන් රැසක් සංවිධානය කරනු ලැබීය.  

ඒ අනුව, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 142 වන බලසේනා මූලස්ථානය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 15 වන ඩ්‍රෝන රෙජිමේන්තුව, 7 වන ගැමුණු හේවා බලකාය සහ 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සේවයේ නියුතු භටපිරිස්හී සාමූහික වැඩසටනක් ලෙස 2022 ඔක්තෝම්බර් මස 1 දින මාදිවෙල ‘සුරස’ විශේෂ අධ්‍යාපන පාසලේ සහ පිරිමි ළමයින්ගේ නේවාසිකාගාර පරිශ්‍රයේදී ළමුන්ගේ විනෝදාශ්වාදය සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.  

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල සහ හිමාලි පුස්සැල්ල මැතිණිය සහභාගී වූහ. මෙම විශේෂ උත්සවයේදී 14 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 142 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ සංවිධානයෙන් සංගීතමය වැඩසටහන්, චිත්‍ර ඇඳීම ආදී වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි.

මෙම ළමා දින සැමරුම් උත්සව අවස්ථාව සඳහා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ද සහභාගී වූ අතර, එම දරුවන් වෙත දිවා භෝජන සංග්‍රහය පිරිනැමීමට පෙර ගීත ගායනය, සංගීත පුටු තරඟ, විවිධ ක්‍රීඩා, නැටුම් සහ තවත් විනෝදාත්මක අංග රැසක් පැවැත්වීය. මෙම අවස්ථාව සඳහා සහභාගී වූ මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල පාසල් පරිශ්‍රයේ සංචාරයක නිරත වෙමින් එම දරුවන් සහ ගුරු මණ්ඩලය සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්තේය.

එමෙන්ම, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ මූලිකත්වයෙන් යාපනය කඩ්ඩෙයිකාඩු සහ කෙවිල් ප්‍රදේශවල වෙසෙන ළමුන් වෙනුවෙන් ළමා දින සැමරුම් උත්සවයක් සංවිධානය කරමින් ඔවුන්ගේ විනෝදය පිණිස විවිධ ක්‍රීඩා ඉසව්, නර්ථන අංගයන් පැවැත්වීමෙන් අනතුරුව එම ළමුන් වෙත ත්‍යාග පාර්සල් පරිත්‍යාග කෙරිණි. මෙම අවස්ථාව සඳහා කඩ්ඩෙයිකාඩු සහ කෙවිල් ප්‍රදේශයන්හී පවුල්වල පාසල් දරු දැරියන් 125 දෙනෙකු සහභාගී වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ උපදෙස් මත 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න විසින් සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයින් අතර සබඳතාවයන් වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබූ අතර, මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න එක්විය. මෙම වැඩසටහන සමාප්තියේ උත්සවයට සහභාගි වූ ළමුන් සඳහා විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමීය.

කඩ්ඩෙයිකාඩු කිතුණු දේවස්ථානයේ අමල් රාජ් පියතුමන්, ගුරු භවතුන් සහ දෙමාපියන් සමඟ එක්ව ‘සෑම දරුවෙකුටම යහපත් අනාගතයක්’ තේමාව පෙරදැරි කරගනිමින් මෙම වැඩසටහන පැවැත්විණි.

මේ අතර, 52 වන සේනාංකය යටතේ ස්ථාපිත 522 වන බලසේනාවේ නිලධාරීන් සහ සෙසුනිලයන් එක්ව කුරුණෑගල සමුද්‍ර පොත්හල වෙතින් ලබාදුන් අනුග්‍රහකත්වය මත යාපනය කරඹකුරිච්චි පාසලේ සහ වරණි මධ්‍ය මහා විද්‍යාලයේ අවශ්‍යතා සහිත ළමුන් 108 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ සහ පාසල් පොත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.  

එහිදී, පෑන්, පැන්සල්, අභ්‍යාස පොත්, ඒ 4 කොළ, කියවීමේ පොත්, වර්ණ ගැන්වීමේ උපකරණ ආදිය අඩංගු එකක් රුපියල් 2,500/= ක් පමණ වටිනාකමකින් යුත් ත්‍යාග පාර්සල් ළමුන් වෙත පරිත්‍යාග කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා පාසල්වල විදුහල්පතිවරුන්, ගුරු භවතුන්, 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනුරාධ ප්‍රනාන්දු, 522 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්දිම කුමාරසිංහ සහ දෙමාපියන් පිරිසක් ද සහභාගි වූහ.  

522 වන බලසේනාවේ උපදෙස් මත 15 වන ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් එම කඳවුරු පරිශ්‍රය තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මේ අතර, ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 වන බලසේනාවේ භටපිරිස් විසින් ගම්පොළ වික්‍රමබාහු විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයේ සහ විදුහල්පතිතුමන්ගේ අනුග්‍රහකත්වය මත එම විද්‍යාලයේ සිසු සිසුවියන් 1800 දෙනෙකු වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමූහ. මෙම අවස්ථාව සඳහා 111 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් එච්.එම්.ඒ.පී. කුමාර, ගම්පොළ වික්‍රමබාහු විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

එමෙන්ම, 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් චාවකච්චේරි රෝමානු කතෝලික දමිළ පාසලේ සිසු සිසුවියන් 21 දෙනෙකු වෙත ළමා දිනය වෙනුවෙන් පාසල් පොත් ප්‍රදානය කරන ලදී. යුද්ධ හමුදා භටපිරිස්හී මූල්‍ය අනුග්‍රාහකත්වය මත බෙදාදුන් එක් පාසල් පොත් කට්ටයක වටිනාකම රුපියල් 2,000/= ක් පමණ විය. මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී මේජර් තුෂාර කුමාරසිංහ සහභාගී විය.  

141 වන බලසේනාවේ භටපිරිස් විසින් බුත්පිටිය පීටර් වීරසේකර ළමා සංවර්ධන මධ්‍යස්ථානය පිරිසිදු කිරීමේ සහ අලුත්වැඩියා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් එම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ බුද්ධ මන්දීරය සහ සියලුම ගොඩනැගිලි තුළ තීන්ත ආලේප කර මුළු පරිශ්‍රයම පිරිසිදු කරන ලදී. මීට අමතරව, එම මධ්‍යස්ථානයේ දරු දැරියන් වෙත දිවා භෝජන සංග්‍රහයක් සහ ත්‍යාග පාර්සල් ද බෙදාදෙන ලදී. මෙම වැඩසටහන සඳහා 141 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රදීප් ගමගේ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු එක්ව සිටියහ.  

මේ අතර, 533 වන බලසේනාවේ භටපිරිස් විසින් තවත් වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් ගල්නෑව නෙළුම්පත්ගම ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් දඹුල්ල රජ මහා විහාරස්ථානයේ සහ මිහින්තලේ ගල් විහාර පරිශ්‍රයේ වන්දනා චාරිකාවක් සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙනු ලැබීය.  

එම වන්දනා චාරිකාව සමාප්තියේ දරු දැරියන්ගේ විනෝදය පිණිස විශේෂ දිවා භෝජන සංග්‍රහයක් සහ සංගීතමය වැඩසටහනක් ද පැවැත්වීය. ඒ සඳහා 533 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් ද එක්විය.

මේ අතර, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 වන සේනාංකයට අයත් 542 වන බලසේනාවේ භටපිරිස් විසින් ජාත්‍යන්තර ළමා දිනයේදී මන්නාරම තම්බපන්නි සිංහල පාසලේ සිසු සිසුවියන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

එහිදී, සී 2 කාන්තා සිංහ සමාජයේ අනුග්‍රාහකත්වය මත යුද්ධ හමුදා භටපිරිස් විසින් එම සිසු සිසුවියන් අතර අත්‍යාවශ්‍ය පාසල් ද්‍රව්‍ය සහිත ත්‍යාග පාර්සල් බෙදාදෙන ලදී. 542 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ පැවති මෙම උත්සවය සඳහා මන්නාරම තම්බපන්නි සිංහල පාසලේ ගුරු භවතුන් ද එක්වූහ.

එමෙන්ම, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ගේ උපදෙස් මත 144 වන බලසේනාවේ භටපිරිස් විසින් 2022 ඔක්තෝම්බර් 01 වන රාජගිරිය ගැලවීමේ හමුදාව - ළමා සංවර්ධන මධ්‍යස්ථානය පරිශ්‍රයේදී විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන යටතේ රාජගිරිය ගැලවීමේ හමුදාව - ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ළමුන් 21 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ සහ ලිපි ද්‍රව්‍ය ඇතුළත් ත්‍යාග පාර්සල් පරිත්‍යාග කරනු ලැබූ අතර දරුවන්ගේ දත් සහ මුඛ සෞඛ්‍ය ආරක්‍ෂාව පිළිබඳ සොයාබලමින් ජංගම දන්ත වෛද්‍ය සායනයක් ද මෙහිදී පවත්වන ලදී.

මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීම සඳහා 14 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් රොෂාන් ජයමාන්න සහ 144 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වින්දන කොඩිතුවක්කු ඇතුළු එම සේනාංකයේ හා බලසේනාවේ භටපිරිස් සිය දායකත්වය දැක්වූහ.

එම වැඩසටහන සමාප්තියේ යුද්ධ හමුදා කැලිප්සෝ සංගීත කණ්ඩායම විසින් ළමුන් සඳහා සංගීතමය ආස්වාදයක් ලබාදෙමින් ඔවුන් විනෝදවත් කළහ. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක්, l44 වන බලසේනාවේ බලසේනාධිපති, 14 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික, 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි, 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි, 144 වන බලසේනාවේ ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරි සහ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ද එක්වූහ.

එමෙන්ම, ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ භටපිරිස් විසින් හම්බන්තොට හත්පෝරුව ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ පරිත්‍යාග කරනු ලැබූ අතර ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් එම පාසලේම සිසු සිසුවියන් 322 දෙනෙකු වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී. 12 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 23 ගජබා රෙජිමේන්තුවේ සහ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.

මේ අතර, ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 682 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 3 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් තේවිපුරම් ග්‍රාම නිලධාරි වසමේ ශිව ශක්ති පෙර පාසල් පරිශ්‍රයේ ශ්‍රමදානයක් පවත්වන ලදී.

මීට අමතරව, දඹුලුහල්මිල්ලවැව යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානය විසින් දඹුලුහල්මිල්ලවැව, දෙහිප්පාව ‘පුබුදු’ පෙරපාසලේ ළමුන් වෙනුවෙන් ත්‍යාග පාර්සල් බෙදාදීමෙන් අනතුරුව සංගීතමය ආස්වාදයක් ලබාදෙමින් ඔවුන් විනෝදවත් කළහ.

මෙම අවස්ථාව සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අනුර අබේසිංහ සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ලේකම් ස්වර්ණමාලි ඒකනායක මහත්මිය එක්වූහ. යුද්ධ හමුදා මූලස්ථානයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය ගේ උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

එමෙන්ම, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංක මුලස්ථානය වෙතින් ජාත්‍යන්තර ළමා දිනයට සිය දායකත්වය එක් කරමින් කෝපායි දකුණ, කන්නන් බාලිකා නිවාසයේ ළමුන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උදය කුමාර සහභාගී වූ අතර එහිදී විවිධ විනෝදාත්මක තරඟයන් සහ ප්‍රදර්ශන පැවැත්විණි.