Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st September 2022 22:45:11 Hours

පේදුරු තුඩුව ප්‍රදේශයේ තවත් අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්

යාපනය ප්‍රදේශයේ අවශ්‍යතා සහිත සිවිල් වැසියන් වෙනුවෙන් නිවාස අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් මේ වනවිට ක්‍රියාත්මක වන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට නව ජවයක් එක් කරමින් පේදුරුතුඩුව, තුන්නාලෙයි ප්‍රදේශයේ වෙසෙන සෙල්වරත්නම් ජයප්‍රාතා මහතා වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ සුරතින් පසුගිය අඟහරුවාදා (20) දින මුල්ගල් තැබුවේය.

මෝදර - මට්ටක්කුලිය සිංහ සමාජයේ සම්බන්ධීකරණයෙන් විදේශගතව සිටින විශ්‍රාමික මේජර් ජෙනරල් රවී රත්නසිංහම් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින්ගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා 16 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සිය ඉංජිනේරු දැනුම සහ තාක්‍ෂණික කුසලතා සමඟින් සිය ශ්‍රම දායකත්වය ද සපයනු ලබයි.

නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා හින්දු ආගමික වතාවත්වලට අනුකූලව මුල්ගල තැබිණි. මෙම මුල්ගල් තැබීමේ උත්සවය සමාප්තියේ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය විසින් නිවාසලාභී පවුල වෙත වියළි සලාක පාර්සලයක් හා එම පවුලේ සහ ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් වෙත අත්‍යාවශ්‍ය පාසල් ද්‍රව්‍ය ප්‍රදානය කරන ලදී.

55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න ගේ උපදෙස් හා 551 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අසේල වික්‍රමසිංහ ගේ අධීක්‍ෂණය මත භටපිරිස් විසින් නව නිවසට මුල්ගල් තැබීමේ උත්සවය සංවිධානය කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා මෝදර - මට්ටක්කුලිය සිංහ සමාජයේ සාමාජිකයින්, කරවෙඩ්ඩි සහකාර ප්‍රාදේශීය ලේකම්, 551, 552 සහ 553 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, ඒ යටතේ ස්ථාපිත සියලුම ඒකකයන්හී අණදෙන නිලධාරීන්, එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී, යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන් පිරිසක් ද එක්වූහ.