Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd August 2022 18:20:48 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සංවිධනය කළ ‘විරු සිසු ප්‍රදීප’ ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවයේදී දරු දැරියන් සඳහා ශිෂ්‍යත්ව 91 ක් පිරිනැමේ

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද ‘විරු සිසු ප්‍රදීප’ ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සව වැඩසටහන මගින් ඉකුත් සඳුදා (22) දින යුද්ධ හමුදා රණවිරු පවුල්වල දූ පුතුන් 91 දෙනෙකු සඳහා රුපියල් 25,000/= බැගින් මූල්‍ය ශිෂ්‍යත්ව පිරිනැමිම සඳහා කටයුතු සූදානම් කර ඇති අතර, උසස් අධ්‍යාපනය සඳහා එම සිසුන් දිරිමත් කිරිමේ අරමුණින් මෙම ශිෂ්‍යත්ව ඔවුන් වෙත ප්‍රධානය කිරීමට සූදානම් කරන ලදී.

යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති මෙම ශිෂ්‍යත්ව පිරිනැමිමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මැතිණියගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී විය. රටේ භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය වෙනුවෙන් ප්‍රාණ දානය සහ කාය දානය ලබාදුන් රණවිරුවන්ගේ දූ පුතුන් වෙනුවෙන් මෙහිදි ශිෂ්‍යත්ව පිරිනමන ලදී.

5 වසර ශිෂ්‍යත්වය සමත් දූ දරුවන් සඳහා ජාතික ආරක්‍ෂක අරමුදල සහ ඩී.එෆ්.සී.සී බැංකුව ඒකාබද්ධව රුපියල් 25,000/= වටිනාකමකින් යුත් ළමා ඉතුරුම් ගිණුම් මෙහිදි පිරිනමන ලදී.

පවතින සෞඛ්‍ය ආරක්‍ෂණ තත්ත්වය අනුව දරුවන් 25 දෙනෙකු සඳහා පමණක් ශිෂ්‍යත්ව ප්‍රධානය කිරිමේ උත්සවය සම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ තේමා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව යුද්ධයෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් පසු ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවය ආරම්භ කරන ලදී. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති ජානකී ලියනගේ මැතිණිය ශිෂ්‍යත්වලාභී දරුවන් දෙදෙනෙකු විසින් පිළිගනු ලැබීය. අනෙකුත් ශිෂ්‍යත්ව ලාබීන් සඳහා රෙජිමේන්තු මට්ටමින් ඉදිරියේදී එම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත.

ශිෂ්‍යත්ව ප්‍රධාන උත්සවය සඳහා සහභාගීවූ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ප්‍රතිලාභී සිසු සිසුවියන් අමතමින් හොඳින් ඉගෙන ගෙන රටට වැඩදායි පුද්ගලයින් ලෙස ජීවත්වන ලෙස ඉල්ලා සිටියේය. එය තම දිවිපිදු සහ තුවාල ලැබූ පියවරුන්ට ගෞරවයක් වන බව ද සඳහන් කළ යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන් වෙත සිය සුබපැතුම් පළකළේය. අනතුරුව එතුමන් ශිෂ්‍යත්වලාභීන් සමඟ සුහදව අදහස් හුවමාරු කර ගත්තේය.

මෙම ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සව වැඩසටහන සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය, යුද සේවා ලේකම් මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට, විධායක ජෙනරල් මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ, සුබසාධන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රොහාන් රාජපක්‍ෂ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් එක්ව සිටියහ.