Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th June 2022 13:02:34 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය ‘හරිත කෘෂිකර්ම’ වැඩසටහන හා එක්වෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන පරිශ්‍රය මනා පරිසර සමතුලිතාවයකින් යුතුව පවත්වාගෙන යාම සඳහා සහ එහි රාජකාරියෙහි නියුතු හමුදා සාමාජිකයන් හරිත සොල්දාදුවන් ලෙස පරිවර්තනය කරමින් බෝග වගාව සඳහා සූදානම් හරිත බලකායක් පිහිටුවිමේ හරිත සංකල්පය ක්‍රියාවට නැංවීමේ අරමුණින් මෙරටට ආවේණික, දේශීය සහ බහුලව භාවිතයට නොගන්නා පලතුරු පැළ 2000 ක් වගාකිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (28) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.

මෙම උත්සවයේ සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායකගේ ආරාධනයට අනුව මහාචාර්ය නිමල් ද සිල්වා සහ මහාචාර්ය එම් එස් මානවඩු, වාස්තු විද්‍යා ක්‍ෂේත්‍රයේ සහ පරිසර ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්, පරිසරවේදීන්, චන්න ඒකනායක සහ දේවන සල්ගාදු යන මහත්වරුන් සහභාගී වූහ.

එහිදී පරිසර විශේෂඥයින් විසින් කඳවුරු භූමිය පරීක්‍ෂාවට ලක්කරමින් අතීතයේදී කඳවුරු පරිශ්‍රය හරහා ගලා ගිය දැනට සිඳී ගිය ජල ප්‍රවාහයන් නැවත ඇති කර පරිසර පද්ධතිය සහ ස්වභාවික ජල ප්‍රවාහය ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින් දුර්ලභ ශාක සහ පැළ විශේෂ සිටුවීමට වඩාත් සුදුසු ස්ථාන පරීක්‍ෂා කරන ලදී.

මෙම සමාරම්භක වැඩසටහන සඳහා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජේ.ඒ.ආර්.එස්.කේ ජයසේකර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් පී.එන්.ගොඩැල්ලවත්ත ඇතුලු සියලුම ශාඛා ප්‍රධානීන් සහ සෙසුනිලයින් ඇතුලු පිරිසක් සහභාගි වූහ.