Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th June 2022 14:02:34 Hours

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති උතුරු ප්‍රදේශයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු මිසුකොෂි හිඩෙකි (Mizukoshi Hideaki) මහතා ඇතුළු දූත පිරිස පසුගිය බදාදා (29) දින උතුරු ප්‍රදේශයේ, යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත වූ අතර, එහිදී ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංක මූලස්ථානයේ ද සංචාරයක නිරත වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය නියෝජනය කරමින් 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න විසින් ජපාන තානාපති තුමා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබු අතර, එහිදී ආරක්‍ෂක හමුදාවන්හි යාපනය අර්ධද්වීපයේ රාජකාරි ස්වභාවය, සිවිල් ජනතාවගේ සුබසාධන කටයුතු සඳහා ගනුලබන ක්‍රියාමාර්ගයන්, හරිත කෘෂිකාර්මික ව්‍යාපෘති, සිවිල් ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යාම සඳහා යුද්ධ හමුදාව විසින් ලබාදෙන සහයෝගය පිළිබඳව ඔවුන් දැනුවත් කරන ලදී. තවද, යාපනය අර්ධද්වීපයේ සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා මූලික සුබසාධන ව්‍යාපෘති සහ ආරක්‍ෂක හමුදාවන් සිවිල් ජනතාව සමඟ එක්ව ප්‍රදේශයේ සංවර්ධන වැඩසටහන් වැඩිදියුණු කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කෙරෙහිද මෙහිදී විශේෂ අවධානයක් යොමුකරමින් මෙහිදී සාකඡ්චා සිදුකරන ලදී.

තවද, මෙම හමුවේදී යුද්ධ හමුදාව විසින් උතුරු ප්‍රදේශයේ සිදුකරනු ලබන සේවය ජපන් තානාපතිතුමන්ගේ පැසසුමට ලක්වූ අතර, එහිදි මෙම සංචාරය සිහිකරනු වස් ජපාන තානාපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ සමරු පොතේ සටහනක් තබමින් යාපනය අර්ධද්වීපයේ ජනතාව අතර සාමය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිදියාව පවත්වාගෙන යාම සඳහා ක්‍රියාකරන ආරක්‍ෂක හමුදාවේ කැපවීම බෙහෙවින් අගය කරනු ලැබූහ.

මෙම සුහඳ හමුව අවසානයේ දෙරට අතර පවතින සුහදත්වය සංකේතවත් කරමින් 55 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහ ජපාන තානාපතිතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

මෙම හමුව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.