Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th June 2022 19:10:27 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ 49 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා පසුගිය බ්‍රහස්පතින්දා (16) දින කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේදී රාජකාරි ආරම්භ කරන ලදී.

එම අවස්ථාව සඳහා සහභාගී වූ මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ශ්‍රී ලංකා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ශේන් ගුණවර්ධන විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා වෙත සරඹ භූමියේදී ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමූහ.

ඉන් අනතුරුව, මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගත්තේය. පසුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

පසුව, නව සේනාවිධායකතුමන් සිය සමාරම්භක දේශනය සිදුකරමින් එතුමන් වෙත ලබාදුන් ගෞරවාචාරයන් වෙනුවෙන් සියලු නිලයන් වෙත සිය කෘතඥතාව පුදකළ අතර ස්වේච්ඡා බලසේනාවේ ප්‍රමිතීන් තවදුරටත් ඉහළ නංවමින් ඵලදායී සේවයක නිරත වීම සිය අරමුණ බව අවධාරණය කළේය. එමෙන්ම, හිටපු සේනාවිධායකවරුන්, දිවංගත රණවිරුවන් සහ ක්‍රියාන්විතයේදී රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සේවය ගෞරවයෙන් සිහිපත් කළ එතුමන් සේවයේ නියුතු සාමාජිකයින්ගේ කැපවීමද පැසසුමට ලක්කළේය.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක, එම බලසේනාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි සහ සියලුම ශාඛා ප්‍රධානීන්, එම මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරින් හා සෙසුනිලයන් සියලුනිල තේ පැන් සංග්‍රහයකට එක්වීමෙන් අනතුරුව එම බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ නව සේනාවිධායකතුමන් සමූහ ඡායාරූපයකට ද එක්විය. ඉන් අනතුරුව, මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එතුමන් භටපිරිස් ඇමතුවේය.