Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th June 2022 19:08:27 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් මංගල දේශනයේදී යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවීමට පොරොන්දු වෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලෙස පසුගිය දා රාජකාරි භාරගත් ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ නව ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමෙන් පසුව ප්‍රථම වරට අද (16) දින පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී සියලු නිලයන් අමතමින් එතුමන්ගේ ඉදිරි සැලසුම් සහ සිය දැක්ම පිළිබඳ පැහැදිලි කරන ලදී.

එතුමන් භටපිරිස් අමතමින්, ප්‍රථමයෙන් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගෙන් මවුබිම මුදවාගැනීම වෙනුවෙන් සිදුකළ මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ රණවිරුවන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්, ඔවුන්ගේ දෙමවුපියන්, පවුල්වල සාමාජිකයින් හා ගුරු භවතුන් වෙත සිය උපහාර පුදකරන ලදී. එමෙන්ම, තමන් කෙරෙහි උපරිම විශ්වාසය තබමින් යුද්ධ හමුදාවේ ඉහළම තනතුර වෙනුවෙන් එතුමන් තෝරා පත්කිරීම වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමන්, ආරක්‍ෂක ලේකම්තුමන් සහ හිටපු යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ පුනරුත්ථාපනය වෙමින් සිටින සහ සුවය ලබමින් සිටින රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට ද ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.

“සමස්ත යුද්ධ හමුදාවේ මනා ක්‍රියාකාරිත්වය කෙරෙහි විශාල වශයෙන් දියුණුවක් ගෙන දුන් ව්‍යාපෘති රැසක් වෙහෙස මහන්සිය නොබලා දූරදර්ශීව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මගේ පූර්වගාමියා වන වත්මන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි වෙත මම කෘතඥපූර්වකව ප්‍රශංසා කළ යුතුයි. සොල්දාදුවන්ගේ වෘත්තීය ප්‍රමිතීන් සහ බහුවිධ කුසලතා ප්‍රවර්ධනය කිරීම සඳහා නව උපායමාර්ගික ප්‍රවේශයන් සහ ඉදිරි දර්ශන රාශියක් හඳුන්වා දෙමින් ක්‍රියාත්මක කළ ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ වැඩපිළිවෙල ඒ ආකාරයෙන්ම ඉදිරියට රැගෙන යාම අපගේ යුතුකමයි. කොවිඩ් - 19 වෛරසය තුරන් කිරීම සඳහා ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අපගේ වීරෝදාර රණවිරුවන් සමඟ එක්ව දැක්වූ දායකත්වය යුද්ධ හමුදාව තුළ කිසිදා අමතක කළ නොහැකි සුවිශේෂී ප්‍රයත්නයක් සහ මතකයක් ලෙස පවතින බව” එතුමන් භටපිරිස් අමතමින් ප්‍රකාශ කරන ලදී.

“අප සෑම විටම ඕනෑම අභියෝගයකට හෝ හදිසි අවස්ථාවකට මුහුණ දීමට සූදානම්ව සිටිය යුතු අතර ජාතිය ගොඩනැගීම, ආපදා කළමනාකරණ භූමිකාවන් සහ දිවයින පුරා සියලුම කඳවුරු තුළ වර්ථමානයේ ආහාර බෝග වගාකිරීම සඳහා අප කැපවී සිටිය යුතුයි. රටේ ජනතාවගේ හදවත් තුළ ගෞරවයට පාත්‍ර වූ රණවිරුවන් යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය විනාශ කිරීමට උත්සාහ දරණ පාර්ශවයන්ගේ විවිධ උත්සාහයන් සහ මාධ්‍ය තුළ ඔවුන් සිදුකරන කූටෝපායන් පිළිබඳව අප සැමවිටම අවධානයෙන් සිටිය යුතු බව” ද එතුමන් ප්‍රකාශ කරන ලදී.

මෙම දේශණයේදී ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘවරයාද සිහිපත් කළ යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක ලේකම් සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ගේ උපදෙස් මත රාජකාරි සිදුකිරීමට පහසු වන බව ද එතුමන් ප්‍රකාශ කරන ලදී.

“යුද්ධ හමුදාව තුළ ඉහළ මට්ටමේ වෘත්තීය ප්‍රමිතීන් පවත්වාගැනීම සහ අභ්‍යන්තර හෝ බාහිර තර්ජනවලින් රට ආරක්‍ෂා කරමින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මහජනතාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම මාගේ දැක්ම වේ. එමෙන්ම, අපගේ සහයෝගය අවැසි අවස්ථාවන්හිදී නාවික හා ගුවන් හමුදාවේ අපගේ සහෝදර සොල්දාදුවන්ට මෙන්ම පොලිස් නිලධාරින්ට ද සහයෝගය දැක්විය යුතු බව” ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ ප්‍රකාශ කළේය.

උපාය මාර්ගික මට්ටමින් තවදුරටත් සිදුකළ යුතු වැඩිදියුණු කිරීම් පිළිබඳ ප්‍රකාශ කරමින් එතුමන්, සෑම ක්‍ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි සහ නව තාක්‍ෂණික ක්‍රමවේදයන්ට ගැලපෙන අයුරින් අපගේ ආරක්‍ෂක උපායමාර්ගයන් වෙනස් කළ යුතු බව ප්‍රකාශ කරන ලදී.

“රෙජිමේන්තු අධිපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනාවේ සේනාවිධායක සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි වැනි ධූරයන්හී රාජකාරි සිදුකිරීමේදී පරිපාලන කටයුතු සහ භඨකාර්ය සම්පාදනය පිළිබඳ බොහෝ අත්දැකීම් සහ දැනුම් සම්භාරයන් ලබාගැනීමට මා හට හැකියාව ලැබිණි. සියලුම නිලයන්ගේ සුබසාධන කටයුතු ප්‍රවර්ධනය කිරීම කෙරෙහි මා තවදුරටත් අවධානය යොමු කරන අතරම, අනාගතයේදී යුද්ධ හමුදාවේ සුබසිද්ධිය උදෙසා කළ හැකි සෑම දෙයක්ම සිදුකිරීමට මා බලාපොරොත්තු වෙමි.”

“මහනුවර යුද්ධ හමුදා රෝහලේ සහ හොකී ක්‍රීඩාංගණයේ ප්‍රගතිය පිළිබඳ සොයාබැලීමට පසුගිය දිනක මා සංචාරයක නිරත වුණා. එම පහසුකම් නුදුරේදි සියලු යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් විවෘත වේවි. ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක දූත මණ්ඩල රාජකාරි සඳහා පිටත්ව යාමට නියමිත භටපිරිස් සංඛ්‍යාව වැඩි කිරීමටත්, යුද්ධ හමුදා ක්‍රීඩා කටයුතුවල ප්‍රමිතීන් ඉහළ නැංවීමටත් හැකි සෑම අයුරින්ම කටයුතු කිරීමටත් මාගේ උපරිම දායකත්වය ලබාදෙන්නෙමි.”

නීති විරෝධී ක්‍රියාකාරම්හී නිරත වන නිලධාරීන්ගේ නොමනා හැසිරීම් හෝ නීතිවිරෝධී ක්‍රියාවන් තමන් කිසිසේත් අනුමත නොකරන බව ප්‍රකාශ කරමින් “එවැනි අකටයුතුකම්වලට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවට” ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

වර්ථමානයේ රටේ පවතින ප්‍රචන්ඩකාරී ක්‍රියාවන්හිදී යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයන් ආදර්ශමත්ව ඉවසීමෙන් සහ ඵලදායීව වෘත්තීයමය වශයෙන් කටයුතු කිරීම ද එතුමන්ගේ ඇගයීමට ලක්විය.

භටපිරිස් ඇමතීමට එක්වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය සහ විධායක ජෙනරාල් ඇතුළු පිරිස විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

මෙහිදී, යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට විසින් පිළිගැනීමේ දේශණය සිදු කරනු ලැබු අතර, යුද්ධ හමුදාධිපතිතුමන් භටපිරිස් අමතා සිදුකළ මංගල දේශනය ආරම්භ කිරීමට ප්‍රථම නව යුද්ධ හමුදාධිපතිතුමන් පිළිබඳ වීඩියෝ දර්ශනයක් ද ප්‍රදර්ශනය කෙරිණි.