Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th June 2022 15:59:25 Hours

මේජර් ජෙනරල් චන්න වීරසූරිය නව යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් චන්න වීරසූරිය බ්‍රහස්පතින්දා (16) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේදී පැවති උත්සවයකදී නව ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී.

එහිදී, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් චන්න වීරසූරිය සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරන ලදී. ඉන් අනතුරුව, එතුමන් භික්‍ෂූන් වහන්සේලා වෙත පිරිකර සහ ගිලන්පස පූජා කර ආශිර්වාද ලබාගත්තේය.

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම මේජර් ජෙනරල් චන්න වීරසූරිය කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායක ධූරය මෙන්ම ඊට ප්‍රථම ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ධූරය ද හෙබවූවේය.

මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයන් ද එක්වූහ.

මේජර් ජෙනරල් චන්න වීරසූරිය පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ;

මේජර් ජෙනරල් චන්න වීරසුරිය වර්ෂ 1968 ජුලි මස 15 දින කොළඹ 7 මැකාර්ති පුද්ගලික රෝහලේදී උපත ලබා කොල්ලූපිටිය මහානාම විද්‍යාලයට ඇතුලත්ව එහි කීර්තිමත් ශිෂ්‍යයෙකු වශයෙන් සිප්සතර හදාරා ඇත. තම පාසල් අධ්‍යාපන කටයුතු අවසන් කිරිමෙන් පසු වර්ෂ 1986 දී කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 26 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැදුණු මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි දෙවන ලූතිතන්වරයෙකු වශයෙන් අධිකාරියට පත්ව වර්ෂ 1987 ජුලි 23 දින 1 වන ශ‍්‍රි ලංකා පාබල හමුදාව වෙත ඇතුලත්ව තම රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී. මේජර් ජෙනරල් චන්න වීරසූරිය මේ වනවිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ වසර 35 කට අධික නිකැලැල් සේවා කාලයක් සම්පූර්ණ කර ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

මේජර් ජෙනරල් චන්න වීරසුරිය ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් තම යුද්ධ හමුදා දිවිය තුල විවිධ ශ්‍රේණිවල අණදීම් තනතුරු, මාණ්ඩලික නිලධාරි තනතුරු හා උපදේශක තනතුරු ඉතා දක්‍ෂ ලෙස හොබවා ඇති අතර, මානූෂීය මෙහෙයුම් කාලසීමාව තුළ ඉතා දරුණු ත්‍රස්තවාදි මෙහෙයුම් පැවැති කාලසීමාවේ 4 වන ශ‍්‍රි ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි වශයෙන් රාජකාරි සිදුකරන ලදී.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි මාණ්ඩලික ශ්‍රේණියේ තනතුරු වශයෙන් 23 වන පාබල සේනාංකයේ ප‍්‍රධාන මණ්ඩලික නිලධාරි 1 (සම්බන්ධිකරණ), 58 වන පාබල සේනාංකයේ කර්නල් ප‍්‍රධාන මණ්ඩලික නිලධාරි, ශ‍්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප‍්‍රධාන මාණ්ඩලික නිලධාරි, ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ ආධුනිකයින් බඳවා ගැනිමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ යන ප‍්‍රධාන තනතුරු හොබවා ඇත.

මේජර් ජෙනරල් චන්න වීරසූරිය 512 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, 523 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, 663 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, ගුවන් සංග‍්‍රාමික බලසේනාවේ බලසේනාධිපති, ශ‍්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ මධ්‍යස්ථානයේ සේනාවිධායක, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර යන ප‍්‍රධාන තනතුරු හොබවා ඇත.

මේජර් ජෙනරල් චන්න වීරසුරිය ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමා නොකලැල් යුද්ධ හමුදා සේවයකින් යුතු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අතර, යුද බිමෙහි දක්වන ලද රණකාමිත්වය උදෙසා රණවික‍්‍රම හා රණශුර පදක්කම් වලින්ද පිදුම් ලබා මවුබිමට ලැදි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස පැසසුමට ලක්වි ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි දේශිය හා විදේශිය පාඨමාලා/ වැඩමුළු හා දේශණ රාශියකට සහභාගි වි ඇති අතර, ඉන් ප‍්‍රධාන වශයෙන් තරුණ නිලධාරි පාඨමාලාව - පාකිස්තානය, මෝටාර් පාඨමාලාව - ඉන්දියාව, එක්සත් ජාතින්ගේ මාණ්ඩලික නිලධාරි පාඨමාලාව - බංගලාදේශය, කණිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - බංගලාදේශය, ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව යන පාඨමාලා සාර්ථකව හදාරා ඇත. තවද, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ශ‍්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි ශාස්ත‍්‍රපති උපාධිධාරියෙකි. ඇමෙරිකා එක්සත් ජනපදයෙහි ගැටුම් නිරාකරණය පිළිබඳ සම්මන්ත‍්‍රණය හා දකුණු සහ ඊසාන දිග ආසියාතික රටවල ආරක්‍ෂාව පිළිබඳ මොංගෝලියාවේ පැවති සම්මන්ත‍්‍රණය සඳහා සහභාගි වි ඇත. එමෙන්ම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පාකිස්ථානයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වශයෙන් තම යුද්ධ හමුදා ප‍්‍රගමනය ඔප මට්ටම් කරගත් කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ධනුෂා වීරසුරිය මැතිණිය සමග විවාහ වි ඇති අතර, එක් දියණියකගේ ආදරණිය පියෙකු ද වේ.