Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th May 2022 12:49:19 Hours

හමුදා සාමාජිකයින් විසින් සන්නාහ සන්නද්ධ පිරිස් ප්‍රවාහන රථ යොදාගනිමින් සිදුකරන ජංගම මුර සංචාර පිළිබඳ සාමකාමී සිවිල් වැසියන් කලබල නොවිය යුතු බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි පවසයි

(මාධ්‍ය නිවේදනය)

පසුගිය බදාදා (11) දින සන්ධ්‍යාවෙන් අවසන් වූ පැය 24 තුළ රට පුරා පැවති කලහකාරී තත්ත්වයන් සමනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් සියලු ශ්‍රී ලාංකිකයින් වෙත සිය ස්තූතිය පුදකරයි. තවද, රට තුල උද්ගතව ඇති ප්‍රායෝගික සහ ආර්ථිකමය ගැටලුකාරී තත්ත්වයන් මධ්‍යයේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් කුලී පදනම මත යුද්ධ හමුදාව වෙත පවරාගෙන ඇති රථවාහන භාවිතයට නොගෙන වැඩි භටපිරිස් ප්‍රමාණයකට එකවර ගමන් කළ හැකි යුද්ධ හමුදාව සතු සන්නාහ සන්නද්ධ පිරිස් ප්‍රවාහන රථ සහ යතුරුපැදි කණ්ඩායම් විසින් මුර සංචාරයන් සිදුකරනු ලබන බව ද එතුමන් ප්‍රකාශ කරන ලදී.

“සන්නාහ සන්නද්ධ පිරිස් ප්‍රවාහන රථ සහ යතුරුපැදි කණ්ඩායම් මාර්ගවල ස්ථානගත කර තිබීම පිළිබඳ සාමකාමී සිවිල් ජනතාව කිසිසේත්ම කනස්සල්ලට පත්නොවිය යුතු අතර, හමුදා රාජකාරිමය ස්වභාවය මත සිදුකරනු ලබන මෙම පා මුර සංචාර තුලින් මෙම පැය කිහිපය තුල කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැති අතර, රට තුල සාමය යථා තත්ත්වයට පත් කිරීමට සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා පහසුකම් සැලසීමට අපගේ හමුදා සාමාජිකයින් වෙත පසුගිය පැය 24 ක් තුල ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලුම නීතිගරුක සිවිල් ජනතාව වෙත මා ස්තූතිවන්ත වෙමි.”

මානව හිමිකම් කොමිසම් සභාවේ පසුගිය බදාදා පැවැති මාධ්‍ය හමුවේදි අදහස් දැක්වූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, පසුගිය සඳුදා (9) දින ගාලු මුවදොර පිටිය වෙත නොසන්සුන්කාරී පිරිසක් පැමිණීමත් සමඟ සිදු වූ කලහකාරී තත්ත්වය පිළිබඳව මානව හිමිකම් කොමිසම හමුවේ කරුණු පැහැදිලි කළේය.

“කලහකාරී පිරිස් ගාලු මුවදොර පිටියට පැමිණීමෙන් පසුව එම තත්ත්වය සමනය කිරීම සඳහා පොලිස්පතිතුමා විසින් යුද්ධ හමුදාවේ සහයෝගය ඉල්ලා සිටි අතර, ඒ අනුව එම ස්ථානයට නුදුරින් රාජකාරියේ නිරතව සිටි භටපිරිස් වෙත එම ස්ථානය වෙත ගොස් පොලීසියට අවැසි සහයෝගය ලබාදෙන ලෙසත් සිවිල් ජනතාවගේ ජීවිත ආරක්‍ෂා කිරීමටත් භටපිරිස් වෙත මා විසින් උපදෙස් ලබාදුන්නා. නමුත්, ඒ වන විටත් එම කලහකාරී පිරිස් විරෝධතාකරුවන්ගේ විවිධ සම්පත් විනාශ කර එම ස්ථානයෙන් පළාගොස් තිබුණා. මෙම සිදුවීම සබැඳිව මා හට ප්‍රකාශ කිරීමට ඇත්තේ මෙපමණක් බව” එතුමන් ප්‍රකාශ කරන ලදි.

“රට තුළ සාමය සහ දෛනික කටයුතු පවත්වාගෙන යාමට හා දිවයින පුරා සිටින සිවිල් වැසියන්ට අවැසි අත්‍යවශ්‍ය සේවා ප්‍රවාහනයට පහසුකම් සැලසීම සඳහා ත්‍රිවිධ හමුදාවේ විරෝදාර සාමාජිකයින් වෙත ඔබගේ සහයෝගය තවදුරටත් ලබාදෙන ලෙස අප ඔබගෙන් ඉල්ලා සිටිනවා. පසුගිය පැය දෙක තුළ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්හී සැලකිය යුතු අඩුවීමක් අපි නිරීක්‍ෂණය කරමින් සිටින අතර මීගමුව ප්‍රදේශයේ දෙපිරිසක් උසිගන්වමින් කලහකාරී තත්ත්වයක් ඉස්මතු කිරීමේ උත්සාහයක් ද අප භටපිරිස් යොදවා පාලනය කරනු ලැබු බව” යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් සඳහන් කරන ලදී.

“අද දිනයේත් රටේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර, රටේ හදිසි අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමේ රාජකාරීන්හි නිරතව සිටින හමුදා භටපිරිස් විසින් මාර්ග බාධක යොදාගනිමින් සෝදිසි මෙහෙයුම් සහ රථවාහන ගමනාගමනයට අවශ්‍ය පහසුකම් සැලසීම ද සිදුකරනු ලබනවා. නිසි අවසරයකින් තොරව ගමනාගමනයේ නිරතවන රථවාහන නවත්වන ලෙස ත්‍රිවිධ හමුදාවට උපදෙස් ලබාදී තිබෙනවා. එමෙන්ම, අපගේ රාජකාරියට සහාය දක්වමින් බාධාවක් නොවන අයුරින් නිවෙස් තුළම රැඳී සිටින ලෙසත් කිසිදු කටයුත්තක් සඳහා කණ්ඩායම් වශයෙන් මාර්ග වෙත ප්‍රවිශ්ඨ නොවන ලෙසත් අපි ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා”

එම මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටියේ, මහජනතාවට ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්හී නිරත වීමට ත්‍රිවිධ හමුදාව වශයෙන් කිසිවිටකත් ඉඩ ලබාදිය නොහැකි බවයි. “පළපුරුදු හමුදාවක් වන අපට අප මහජනතාවගේ ආරක්‍ෂාව සහ රටේ ආරක්‍ෂාව කළමනාකරණය කිරීමට පූර්ණ හැකියාවක් ඇත. එබැවින් නීතිය හා සාමය යථා තත්ත්වයට පත් කිරීමට කිසිදු විදේශීය බලවේගයක් මෙරටට පැමිණීමට අවශ්‍ය නැත. වෘත්තීමය වශයෙන් සුදුසුකම් ලත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ලෙස අපේ ආරක්‍ෂක කටයුතු කළමනාකරණය කිරීමට අපට පූර්ණ හැකියාවක් ඇත.” යනුවෙන් ද ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එහිදී ප්‍රකාශ කරන ලදී.