Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th May 2022 17:19:27 Hours

රට නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා සියලුම සාමකාමී ශ්‍රී ලාංකික ජනතාවගේ සහයෝගය ලබාදෙන ලෙස ආරක්‍ෂක ලේකම් සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ඉල්ලා සිටියි

ආරක්‍ෂක අමාත්‍යාංශයේදී බදාදා (11) දින පැවති මධ්‍ය හමුවේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අදහස් දක්වමින් ‘‘ රට සාමකාමී ලෙස නැවත සාමාන්‍ය තත්ත්වයට පත්කරගනිමින් පවත්වාගෙන යාම සඳහා දිවයින පුරා සිටින සිවිල් වැසියන්ට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනයට පහසුකම් සැපයීමට මෙන්ම අවශ්‍ය සේවා සහයෝගය ලබාදීම සදහා ත්‍රිවිධ හමුදාවේ වීරෝදාර සාමාජිකයන් හට ඔබගේ උපරිම සහයෝගය ලබාදෙන ලෙස අප ඔබගෙන් ඉතා ඕනෑකමින් යුතුය ඉල්ලා සිටිනවා. ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සිදුවෙමින් පැවති මීගමුව ප්‍රදේශය සඳහා භටපිරිස් යොදවා එම තත්ත්වය සමනය කිරීමෙන් අනතුරුව ඇති වී තිබූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් පසුගිය පැය දෙක තුළ සැලකිය යුතු වශයෙන් අඩු වී ඇති බව නිරීක්‍ෂණය වන බව ” ප්‍රකාශ කරන ලදී.

“අද දිනයේත් රටේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර, රටේ හදිසි අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමේ රාජකාරීන්හි නිරතව සිටින හමුදා භටපිරිස් විසින් මාර්ග බාධක යොදාගනිමින් සෝදිසි මෙහෙයුම් සහ රථවාහන ගමනාගමනයට අවශ්‍ය පහසුකම් සැලසීම ද සිදුකරනු ලබනවා. නිසි අවසරයකින් තොරව ගමනාගමනයේ නිරතවන රථවාහන නවත්වන ලෙස ත්‍රිවිධ හමුදාවට උපදෙස් ලබාදී තිබෙනවා. එමෙන්ම, අපගේ රාජකාරියට සහාය දක්වමින් බාධාවක් නොවන අයුරින් නිවෙස් තුළම රැඳී සිටින ලෙසත් කිසිදු කටයුත්තක් සඳහා කණ්ඩායම් වශයෙන් මාර්ග වෙත ප්‍රවිශ්ඨ නොවන ලෙසත් අපි ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා” යනුවෙන් ද එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

එම මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටියේ, මහජනතාවට ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්හී නිරත වීමට ත්‍රිවිධ හමුදාව වශයෙන් කිසිවිටකත් අපහට ඉඩ ලබාදිය නොහැකි බවයි. “පළපුරුදු හමුදාවක් වන අපට අප මහජනතාවගේ ආරක්‍ෂාව සහ රටේ ආරක්‍ෂාව කළමනාකරණය කිරීමට පූර්ණ හැකියාවක් ඇත. එබැවින් නීතිය හා සාමය යථා තත්ත්වයට පත් කිරීමට කිසිදු විදේශීය බලවේගයක් මෙරටට පැමිණීමට අවශ්‍ය නැත. වෘත්තීමය වශයෙන් සුදුසුකම් ලත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ලෙස අපේ ආරක්‍ෂක කටයුතු කළමනාකරණය කිරීමට අපට පූර්ණ හැකියාවක් ඇති බවත්” ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එහිදී පැවසීය.        

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම සඳහා පොලිසියට සහයෝගය දැක්වීමට කැඳවනු ලැබූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විසින් රටතුල ඇතිවිය හැකි ඕනෑම තත්ත්වයක් පාලනය කිරීමට අවම බලය යොදවන බවත් ඇතිවිය හැකි ඕනෑම තත්ත්වයක් සමනය කිරීමට අසමත් නොවන බවත්ය. “ව්‍යවස්ථානුකූලව මා වෙත පැවරී ඇති බලතල අනුව, උත්සන්න වෙමින් පැවති ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා හදිසි තත්ත්වයක් තුල ගතයුතු ක්‍රියාමාර්ග නීතිය ප්‍රකාශයට පත්කිරීමට අපට සිදුවුණා. මොනයම් හෝ දේශපාලන සම්බන්ධකම් තිබුණත් ප්‍රචණ්ඩ ක්‍රියාවලින්, පුද්ගලික හා පොදු දේපළ විනාශ කිරීමෙන් සහ ජනතාවගේ දෛනික කටයුතුවලට හානි පැමිණවීමෙන් වළකින ලෙස අප සියලුම ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. නිල ඇඳුමින් සැරසී සිටින පොලිස් නිලධාරීන් ද මනුෂ්‍යයන් වන බැවින් ඔවුන්ට හිරිහැර, නින්දා, අපහාසවලට ලක් කිරීමෙන් නීතිය හා සාමය ආරක්‍ෂා කරන්නේ කෙසේදැයි ” යනුවෙන් ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න විමසා සිටියේය.  

“පසුගිය පැය 48 තුළ විශාල වශයෙන් සිදුවූ ගිනි තැබීම්, පෞද්ගලික සහ පොදු දේපළවලට හානි කිරීම් තවමත් ඇස්තමේන්තුගත කර නොමැත. එම දේපළ හිමිකරුවන් රැසක් තවමත් ජීවිත බියෙන් සැඟව සිටිනවා. අපට මුලින් අවශ්‍ය වූයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් වර්ධනය වන විට ඒවා නිරීක්‍ෂණය කර ඔවුන්ට ප්‍රචණ්ඩකාරී ක්‍රියාකාරකම්වල බලපෑම පිළිබඳ පැහැදිලි කිරීම සඳහා අවම බලය භාවිතා කිරීමයි. හදිසි නීතිය පනවා පැය ගණනකට පසුවත් තත්ත්වය පාලනය කරන ලෙස අප හමුදාවෙන් ඉල්ලා සිටියේ එබැවිනි. වර්ධනය වෙමින් පැවති ප්‍රචණ්ඩත්වය අවම කිරීමේ අරමුණින් අකමැත්තෙන් වුවද අපට යම් යම් ක්‍රියා මාර්ග ගැනීමට සිදුවුණා. අපගේ සොල්දාදුවන් කිසිදු ප්‍රතික්‍රියාවකින් තොරව ඉවසිලිවන්තව කටයුතු කළ ආකාරය සහ අවස්ථා කිහිපයක්ම ඉතා සංයමයකින් යුතුව කළමනාකරණය කළ ආකාරය ඔබ සියැසින් දකින්නට ඇතැයි යනුවෙන්” එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.