Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th May 2022 21:41:30 Hours

ජීවිත සහ දේපළ ආරක්‍ෂා කිරීමට ආරක්‍ෂක හමුදාවන්ට සහය වන ලෙස ආරක්‍ෂක ලේකම් සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මහජනතාවගෙන් ඉල්ලා සිටියි

රටේ සියලුම සිවිල් ජනතාවගේ සහ පොදු දේපළවල ආරක්‍ෂාව සඳහා පමණක් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යොදවා සිටින බවත් ප්‍රචණ්ඩකාරි ක්‍රියාකාරකම්වල නිරත නොවී සාමකාමීව කටයුතු කරන ලෙසත් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ආරක්‍ෂක අමාත්‍යාංශයේදී අද (9) දින පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) රට තුළ සිදුව ඇති අවාසනාවන්ත සිදුවීම පිළිබඳ සිය අදහස් දක්වමින් ප්‍රචණ්ඩකාරී සහ ප්‍රකෝපකාරි ක්‍රියාවන් සිදුකිරීමෙන් වළකින ලෙස සියලුම සාමකාමී ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියේය. “සියලුම සිවිල් වැසියන් අත්විඳින ආර්ථික දුෂ්කරතා පිළිබඳ අපි දනිමු. ශ්‍රී ලාංකිකයින් වන අපි සියලුදෙනා අපගේම සහෝදර, සහෝදරියන් සහ දූ පුතුන් වන අතර එවැනි ප්‍රකෝපකාරී ක්‍රියාකාරකම්, ගිනි තැබීම් සහ රාජ්‍ය හා පෞද්ගලික දේපළ විනාශ කිරීමෙන් මෙවැනි ගැටලුවලට විසඳුම් ලබාගැනිමට නොහැකියි. කරුණාකර නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමට පොලීසියට සහ ආරක්‍ෂක අංශවලට ඔබේ සහයෝගය ලබාදෙන්න‍. බාල මහලු දෙපිරිසගේම ජීවිත ආරක්‍ෂා කිරීමට අපි කැපවී සිටින අතර අපේ රටේ මේ තීරණාත්මක මොහොතේ සන්සුන්ව කටයුතු කරමින් අපට සහයෝගය දක්වන ලෙස මා ඔබ සැමගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින බව” එතුමන් මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදී.

මේ අතර, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම මාධ්‍ය හමුවේදී සිය අදහස් දක්වමින් ප්‍රකෝපකාරී සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නිරත නොවන ලෙසත්, මීට සති කිහිපයකට පෙර මෙම විරෝධතා ආරම්භ වූ දිනයේ සිටම රටේ සියලුම සිවිල් වැසියන් ආරක්‍ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සම්පූර්ණයෙන් කැප වී සිටින බවත් ප්‍රකාශ කරන ලදී. “රටේ අත්‍යවශ්‍ය සේවා සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතු අතර, එම සේවාවන් පවත්වාගැනීමටත්, එ් සඳහා අවශ්‍ය අවකාශය සලසා දීමට ත්‍රිවිධ හමුදාවට සහයෝගය දක්වන ලෙසත් අපි ඔබ සැමගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ගෙන් වැළකී සාමය පවත්වා ගැනීමට අවශ්‍ය සහයෝගය අප ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඔබගේ විරෝධතාවයන්ට සන්නද්ධ හමුදා සාමාජිකයින් කිසිදු ආකාරයකින් මැදිහත්වීම් නොකරන අතර අපට අවශ්‍ය වන්නේ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමට සහය වීම පමණයි. අප සිටින්නේ අපේ රට, අපේ සිවිල් ජනතාව සහ රටේ පොදු දේපළ ආරක්‍ෂා කිරීමටයි. එ් සඳහා පොලීසියේ ඉල්ලීම පරිදි කොළඹ ප්‍රදේශයේ සාමය පවත්වා ගැනීමට සහය වීමට අපි හමුදා භටපිරිස් යොදවා තිබෙනවා. මේ මොහොතේ අපි රටේ සාමයට ලැදි බුද්ධිමත් පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, රටක් ලෙස ඉදිරියට යා යුතු බැවින්, පොදු දේපළවලට සහ ජනතාවට හානිකිරීමෙන් වැළකී බුද්ධිමත්ව කටයුතු කරන ලෙසයි” යනුවෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදී ප්‍රකාශ කරන ලදී.

“මිනීමැරුම් හෝ ආරවුල් ඇතිකිරීම තුලින් දැවෙන ගැටළු කිසිඳු ආකාරයකින් නිරාකරණය කරගැනීමට හැකියාවක් නොමැති බැවින් මා ඉතා නිහතමානීව සහ පෞද්ගලිකව ඔබෙන් ඉල්ලා සිටින්නේ ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය සහයෝගය ලබාදී ගිනි තැබීම් වැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ගෙන් වැළකී සිටින ලෙසයි. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති වශයෙන් රටේ සියලුම ජනතාවට සහ පොදු දේපළවලට උපරිම ආරක්‍ෂාව ලබාදෙන බවට මා ඔබට සහතික වෙනවා” යනුවෙන් ද එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.