Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th May 2022 22:49:07 Hours

ගැමුණු හේවා බලකා මූලස්ථානයේ ඉදිකළ නව නවාතැන් පහසුකම් සංකීර්ණය විවෘත කෙරේ

රත්නපුර, කුරුවිට ප්‍රදේශයේ ස්ථාපිත ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ කොමිෂන් නොලත් නිලධාරින්ගේ භාවිතය සඳහා අභිනවයෙන් ඉදිකරනු ලැබූ මහල් තුනකින් සමන්විත නවාතැන් පහසුකම් සංකීර්ණය බදාදා (04) දින කොමිෂන් නොලත් නිලධාරින්ගේ භාවිතය සඳහා පවරාදෙන ලදී.  

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා මාලි රාජ්‍යය බලා පිටත්ව යන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ගෞරවාචාරයන් පිළිගැනීම සඳහා ගැමුණූ හේවා බලකා රෙජිමේන්තුව වෙත සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන්ගේ ආරාධනයකට අනුව කොමිෂන් නොලත් නිලධාරින්ගේ දීර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවති මෙම නවාතැන් පහසුකම් සංකීර්ණය විවෘත කරනු ලැබීය. සාම්ප්‍රදායික පොල් තෙල් පහන දල්වා ආගමික වතාවත්හී නිරතවීමෙන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සමරු ඵලකය නිරාවරණය කර අභිනවයෙන් ඉදිකරනු ලැබූ නවාතැන් පහසුකම් සංකීර්ණය විවෘත කරනු ලැබීය.

ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි ගේ උපදෙස් මත එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අරමුදලේ මූල්‍යමය දායකත්වය ඇතිව ගැමුණු හේවා බලකායේ සහ ඉංජිනේරු සේවා බළකායේ භටපිරිස්හී ශ්‍රමදායකත්වය මත මෙම නව ගොඩනැගිල්ල ඉදිකරන ලදී. ඉන් අනතුරුව, නවතමයෙන් විවෘත කළ නවාතැන් පහසුකම් සංකීර්ණයේ සංචාරයක නිරත වූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුලු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු විසින් එම ගොඩනැගිලි සංකීර්ණයේ ඇති පහසුකම් නිරීක්‍ෂණය කළේය.  

මෙම අවස්ථාවට සහභාගී වීම වෙනුවෙන් කෘතවේදීත්වය දක්වමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කිරීමෙන් අනතුරුව පැවති දිවා භෝජන සංග්‍රහයෙන් මෙදින උත්සවයේ සමාප්තිය සනිටුහන් විය. කඳවුරු පරිශ්‍රයෙන් පිටත්ව යාමට ප්‍රථම එතුමන් විසින් නිලධාරි නිවස්නයේ පිහිටි විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තැබූ අතර ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ද ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මුලස්ථානයේ මාණ්ඩලික ප්‍රධානි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක, යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන ආඥාපති සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගී වූහ.