Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th March 2022 19:46:58 Hours

මඩකලපුව ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ පරිත්‍යාගයක්

කොළඹ රොටරි සමාජයේ මනබන්ධනී සේනාධීර මහත්මිය සහ ඉන්ද්‍රතිස්ස මහතාගේ පවුලේ සාමාජිකයින් විසින් ලබාදුන් අනුග්‍රාහකත්වය සහ යුද්ධ හමුදා සම්බන්ධීකරණය මත පසුගිය බදාදා (09) දින කරදියනාරු හින්දු විද්‍යාලය ඇතුළු මඩකලපුව දිස්ත්‍රික්කයේ තවත් පාසල් තුනක අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසු සිසුවියන් 501 දෙනෙකු වෙත පාසල් උපකරණ පරිත්‍යාග කරන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර තවත් එක් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් වශයෙන් දියත් කරනු ලැබූ මෙම වැඩසටහන 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත විසින් ක්‍රියාත්මක කරනු ලැබිනි. 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ගේ සහ 4 වන ගැමුණූ හේවා බලකායේ භටපිරිස්හී සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා කරදියනාරු හින්දු විද්‍යාලයේ සියලුම සිසුන්ට එක් ස්ථානයකට ආරාධනා කිරීමෙන් අනතුරුව මෙම පරිත්‍යාග වැඩසටහන ආරම්භ කරන ලදී.

පාසල් සිසු සිසුවියන් වෙත බෙදාදුන් පාසල් උපකරණ පාර්සල් අතර පාසල් බෑගයක්, පොත්පත්, පෑන්, පැන්සල්, පැන්සල් පෙට්ටි සහ ගණිත උපකරණ මෙන්ම තෝරාගත් පවුල් කිහිපයක් පාසල් සිසු සිසුවියන් සඳහා ත්‍යාග වවුචර්පත් ද ප්‍රදානය කරන ලදී. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන සඳහා 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත, 23 වන සේනාංකයේ සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරි, 4 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි, නිලධාරින් සහ සෙසුනිලයන්, විද්‍යාල හතරෙහි විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ද එක්ව සිටියහ.