Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th March 2022 15:18:15 Hours

යුද්ධ හමුදා ජිම්නාස්ටික් තරඟාවලියේ ජයග්‍රාහකයින්ට කුසලාන සහ සහතිකපත් පිරිනැමේ

යුද්ධ හමුදා ජිම්නාස්ටික් තරඟාවලිය - 2021 හි සමාප්ති උත්සවය බ්‍රහස්පතින්දා (10) දින පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති මෙන්ම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.  

යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 8 කට අයත් ක්‍රීඩකයන් 48 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වු මෙවර අන්තර් රෙජිමේන්තු ආධුනික ජිම්නාස්ටික් තරඟාවලිය පෙබරවාරි මස 22 සහ 23 දිනයන්හිදී පැවැත්විණි.

තියුණු තරගයකින් අනතුරුව ගජබා රෙජිමේන්තුවේ ජිම්නාස්ටික් ක්‍රීඩකයින් ආධුනික අංශයේ ශූරතාවය හිමිකරගැනීමට සමත්වු අතර ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ ජිම්නාස්ටික් ක්‍රීඩකයින් තරඟාවලියේ ශූරතාවය දිනාගත්හ. 

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් විකුම් ලියනගේ සහ යුද්ධ හමුදා ජිම්නාස්ටික් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් ප්‍රදීප් ගමගේ විසින් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව විශේෂ වේදිකාව වෙත කැටුව යන ලදී.

ජිම්නාස්ටික් තරඟාවලිය සඳහා සහභාගි වු ක්‍රිඩකයින්ගේ දස්කම් දැකබලාගත් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඉන් අනතුරුව තරඟාවලියේ දස්කම් දැක්වු ජිම්නාස්ටික් ක්‍රීඩකයින්ට කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කෙරිණි.  

ත්‍යාග ප්‍රදානෝත්සවය අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් තරඟාවලියට සහභාගි වු සියලුම යුද්ධ හමුදා ජිම්නාස්ටික් ක්‍රීඩකයින් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

මෙම තරඟාවලියේ පිළිගැනීමේ දේශනය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජිම්නාස්ටික් කමිටුවේ උප සභාපති කර්නල් මංගල බාලසුරිය විසින් සිදුකල අතර සමාප්ති දේශනය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජිම්නාස්ටික් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් ප්‍රදීප් ගමගේ විසින් සිදුකරන ලදී.

ජිම්නාස්ටික් තරඟාවලියේ සමාප්ති උත්සවයට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් විකුම් ලියනගේ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් චන්න වීරසූරිය ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ජිම්නාස්ටික් ක්‍රීඩා ලෝලීන් පිරිසක් සහභාගි වුහ.